සංවේදී මිනිස් පවුර

අපි මේ සංස්කෘතික විශ්වයේ සැරිසරමින් සිටින අතර විවිධ ආශාවන්, විවිධ බලාපොරොත්තු, විවිධ අරමුණු, විවිධ සිහින අපේ කරගෙන, මගේ කරගෙන ජීවත්වනවා. මෙලොව එළිය දකින මොහොතේදී අව්‍යාජ හදවතකට, අවංක හදවතකට හිමිකම් කියූ අපි හැම නිමේෂයකම, හැම පැයකම, හැම දවසකම නොයෙකුත් ආශාවන්, නොයෙකුත් ලෞකික දේවල් අපේ හිත්වල පොදි ගහගනිමින් මේ සංස්කෘතික විශ්වයේ අතරමං වෙමින් සිටිනවා. මගේ කරගත යුතු හීන මගේ හීන කරනොගෙන, මගේ කරගතයුතු නැති හීන මගේ කරගෙන යන මේ ගමන තුළ නිරන්තරයෙන් අපි හොඳ නරක, හරි වැරදි නිවැරදිව වටහා ගනිමින් නොගනිමින් මග හරිමින් මේ සංස්කෘතික විශ්වයේ අතරමං වෙමින් සිටිනවා. මෙතනදී දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි අපේ සමාජයීය ජීවිතයට විවිධ සීමාවන් ලකුණු කරගනිමින් පටු මනසකට ගාල් වෙනවා. ඒ නිසාම මේ සංස්කෘතික ගමනේදී මට අනුව මම හරි, මට අනුව මම පොරක්, මට අනුව මට මීට වඩා කරන්න දෙයක් නැහැ, මට අනුව මගේ අවංකකම ගැන අව්‍යාජත්වය ගැන කාටවත් මාව ප‍්‍රශ්න කරන්න බැහැ, මට අනුව මගේ දෛවය කවුරුන් විසින් හෝ ලියන ලද්දක්, මට අනුව මගේ දෛවය වෙනස් කරන්න මටවත් වෙන කාටවත් බැහැ, මට අනුව මම මෙච්චරයි. 
                   ඔව්, වත්මන් සංස්කෘතික පොළොවේ සැරිසරන මට, අපිට මේ ක‍්‍රමවේදය විසින් හිතන්න පුරුදු කරල තියෙන්නේ ඒ විදියට. අපිව හිත්තවන්නෙ ඒ විදියට. ඉතින් මම එහෙමම හිතමින් ජීවිත් වෙනවා. අපි එහෙමම හිතමින් ජීවත් වෙනවා. මේ යථාර්ථය තුළ සිතීම කි‍්‍රයාව බවට පත් කරන අපි නිර්මාණය කරනවා ‘සමාජය’. ඉතින් අපි විසින්ම නිර්මාණය කළ නිර්මාණය කරන සමාජය තුළ බිහිවන ප‍්‍රතිඵලවලට අපිම බනිනවා. දන්න හැම විදියටම බනිනවා. 
                  දැන් අපි කාටද මේ බනින්නේ? අපි මොනවටද මේ බනින්නේ? හිතලා බලනවා නම් ඒ ප‍්‍රශ්න හරිම වැදගත්. කොහොම වුණත් අපි විසින්ම නිර්මාණය කරන අපේ සමාජය පිළිබඳව දළ අදහසක් ඇති කරගැනීමට සමාජය යම් අධ්‍යයනයකට භාජනය කළ විට මතුවන ප‍්‍රතිඵල අතර, 
  • සමාජයක් විදියට අපි දවසින් දවස විනාශයේ මුඛයට යමින් සිටින නිසාම පත්තර පිටු පුරා වාර්තාවන ප‍්‍රවෘත්ති අතර මිනිස් ජීවිතවල ඛේදනීය අත්දැකීම් අකුරු වනවා.
  •  දරුවන්ගේ ලෝකය යහපත් කරන බවට වගකිවයුත්තන් හඬගා කිව්වත් දිනෙන් දින දරුවන්ගේ ලෝකය විනාශවෙමින් පවතිනවා. දරුවන්ට ඔවුන්ගේ ලෝකය අහිමි වෙමින් පවතිනවා.
  •  ළමා පරපුර අධ්‍යාත්මිකව පෝෂණය කරමින් ඔවුන්ව අධ්‍යාපනිකව දියුණු බුද්ධි මට්ටමකට ඔසවා තැබීම දෙමව්පියන්ගේ හා වැඩිහිටි සමාජයේ වගකීම වුවත් අද වන විට දරුවන් අධ්‍යාත්මිකව පෝෂණය කරනට අවශ්‍ය අවම දේවත් නොකරමින් සාහිත්‍යය දරුවන්ගේ ලෝකයෙන් ඈත්කර තිබෙනවා. දරු පරපුර කටපාඩම් ගිරව් බවට පත්කර ඔවුන් තුළින් නාමමාති‍්‍රක උගතුන් බිහිකරමින් සිටිනවා. දරුවන් තුළින් බුද්ධිමතුන් බිහිවීමේ කි‍්‍රයාවලිය ගබ්සා කර තිබෙනවා.
  •  ආච්චි වුණත් මොකද හොඳට ලව් කරනවා නම් කියලා, එහෙම කියනකොට හිනාවෙලා, අත්පුඩි ගහලා, නටලා, ඒ සිංදු මාරයි කියපු වැඩිහිටි සමාජයම දැන් යටිගිරියෙන් බෙරිහන් දෙනවා ‘අද කාලෙ හැදෙන උන් ගන්න දෙයක් නැහැ, කොටින්ම වැඩිහිටියන්ට සලකන්න දන්නෙ නෑ’ කියලා.
             මේ විදියට පිටු පිරෙන්න ලියන්න පුළුවන් ඛේදනීය සිදුවීම් මේ සමාජය තුළ මුල් බැසගෙන තියෙන්නෙ මට මම හරි සමාජයක් තුළයි. මම මට වග නොකියන, මම අපිට වග නොකියන සමාජයක් තුළයි. මගේ හීන අපේ හීන එක්ක සමපාත නොවන සමාජයක් තුළයි.
              ඉතින් මෙහෙම සමාජයක මට අපිට සාම්ප‍්‍රදායික මිනිස් සිතීමට ගොඩවී පොදු ප‍්‍රකාශ නිකුත් කරමින් අනෙකාට බැන බැන, සමාජයට බැන බැන, සමාජය එල්ලූම් ගහේ යවන්න  ඕනි කිය කිය පණක් නැති, ඵලක් නැති වචන මතුරමින් ඉන්න පුළුවන්ද? කෙස් පැලෙන තර්කවලින් සමාජය වෙනස් කරන්න හිස් වචන කියකිය ඉන්න පුළුවන්ද? අමාරු ඇත්ත වෙනුවට ලේසි බොරුව තෝරාගනිමින් ‘ෂේප්’ න්‍යාය අනුගමනය කරන්න පුළුවන්ද?
              මේ ප‍්‍රශ්නාර්ථ  මීට අවුරුදු 06කට කලින් අපිව නිරුත්තර කළා. අපිව අවදි කළා. අපිව සකී‍්‍රය කළා. ඒ හරහා දුෂ්කර මුත් සත්‍යවාදී ගමනකට අපිව තල්ලූ කළා.
               අපි ඒ ප‍්‍රශ්නාර්ථවලට සවිඥානික වුණා. ඒ ප‍්‍රශ්නාර්ථවලට අභිමුඛ වුණා. ඒ ප‍්‍රශ්නාර්ථවල බර පිළිබඳ පුළුල් කතිකාවකට ගොඩවුණා. ඒ අනුව අවංක කියවීමක ගැඹුරු සංවාදයක ප‍්‍රතිඵලය විදියට අපි කැමැත්තෙන්ම ඒ දුෂ්කර මාවත තෝරගත්තා.
               ඒ තෝරා ගැනීමේ  ප‍්‍රතිඵලය විදියට අපි දැනුවත්වම සමාජයට දියවෙන්න පටන් ගත්තා. අපි දියවෙන තරමට සමාජය විසින් අපිව ගුණයෙන් පෝෂණය කරන්න වුණා. අපි සමාජයීය මිනිසුන් වුණේ මේ සියලූ තත්වයන්වල ප‍්‍රතිඵල විදියටයි.
                මේ අපේ සමාජයීය සිතීම, මේ අපේ සමාජයීය සිටීම. ඒ තුළ ගොඩනැගුන අපේ සමාජයීය භාවිතය දිනෙන් දින ව්‍යුහයක් ලෙස මෝරන්න පටන් ගත්තා. ක‍්‍රමිකව වැඩෙන අපේ මේ ව්‍යුහයට භාෂා ලෝකය තුළ අර්ථ නාමයක් අවශ්‍ය නිසාම අපි මේ ව්‍යුහයට ‘සංවේදී මිනිස් පවුර’ යන නම තැබුවා. 
                  අවුරුදු 06 ක් පුරා මේ සංවේදී මිනිස් පවුර තුළ අපි බොහෝ කි‍්‍රයාකාරකම්  කරමින් සිටිනවා. ඒ කි‍්‍රයාකාරකම් විටෙක මහා සමාජ ප‍්‍රකාශන මහා සමාජ සත්කාරයන් දක්වා විශාල වන අතර තවත් විටෙක එය කුඩා දරුවකුට පොතක් පෑනක් අරන් දෙන තරමට සුළු උපකාර බවට පත්වී කුඩා වනවා.
               කොහොම නමුත් ඒ සියලූ  කි‍්‍රයාකාරකම් මේ වියමන තුළ අකුරු බවට පත්කරන්නට අපේක්‍ෂා නොකරන අතර ‘අපි’ පිළිබඳව යම් අවබෝධයක් ලබාගැනීමට දළ අදහසක් ඇතිකරගැනීමට සංවේදී මිනිස් පවුර එක් එක් ව්‍යුහයක් හරහා මේ මහ පොලවේ කි‍්‍රයාකරන ආකාරය මෙහි සංක්‍ෂිප්තව අකුරු කරනවා.

සුබෝධන ළමා කවය

              කොහේ පිපුණත් මල් මල් මයි. එකපාට මල්වලට වඩා පාට පාට මල් එකතැනක තියෙනකොට ලස්සනයි. එක එක ජාතියේ මල් එක තැනක තියෙනකොට ලස්සනයි.
              කාගෙ වුණත් දරුවො දරුවොමයි. එකම පාට එකම ආගමේ එකම ජාතිකත්වයේ දරුවන්ට වඩා විවිධ ජාති, කුල, ආගම්, පාට නියෝජනය දරුවන් තුළ ඇති විවිධත්වය ළමා ලෝකය තුළ මොනතරම් අපූරු සිතුවම් විචිත‍්‍රවත් කරනවාද?
              අපි පුංචි දූ  පුතුන්ගේ ලෝකය ලස්සනට නිර්මාණය කරන්න ඔවුන්ගේ පුංචි මනසට ඇතුල්වෙලා ඉන්නවා. ඔවුන් එක්ක සිංදු කියනවා. සෙල්ලම් කරනවා. චිත‍්‍රපට බලනවා. ඔවුන්ට උගන්වනවා. විවිධ කි‍්‍රයාකාරකම් හරහා ඔවුන්ව ආදරයෙන් පෝෂණය කරනවා.
              වැඩිහිටි සමාජය විසින් ජාති, කුල, ආගම් බේද මේ පුංචි ලෝකයට ඇතුල් කරන කි‍්‍රයාවලියට එරෙහිව අපි මහා පවුරක් සේ නොසැලී සිටිනවා.

අරුණෝදය යෞවන කවය

              නව යෞවන විය සහ යෞවන විය කියන්නේ ජීවිතයේ තීරණාත්මක කඩඉමයි. බොහෝ දෙනා මේ අවදියේ දී ජීවිතය පටන් ගත යුත්තේ කොහොමද? තෝරාගත යුත්තේ මොනවාද? කාවද? අතහැරිය යුත්තේ මොනවාද? කාවද? කියලා හරිහැටි අවබෝධ කරගන්නේ නැති නිසා හිමිදිරි පාන්දරම ජීවිතය වරද්ද ගන්නවා. මේ තත්වය තුළ හරිම භයානක ප‍්‍රතිඵල සමාජගත වනවා. ඒ නිසා අපිට මේ නව යෞවන සහ යෞවන වියේ පසුවන දූ දරුවන් පිළිබඳ පැහැරහැරිය නොහැකි වගකීමක් තියෙනවා.
             ඒ වගකීම ඒ බරෙන්ම භාරගත් අපි මේ වනවිට මේ තරුණ පරම්පරාවට රැස්වන්නට, කතාබහ කරන්නට, ඉගෙනගන්නට, සතුටුවන්නට අරුණෝදය කවය නිර්මාණය කර තිබෙනවා.
              ජීවිතය පිළිබඳව ධනාත්මකව හිතන්නට, ජීවිතය පිළිබඳව යථා සිහින පමණක් මනස තුළට ගොනු කරන්නට, ජීවිතය සමාජය ඉගෙනගන්නට, ජීවිතය විඳින්නට තරුණ දූ පුතුන්ට අරුණෝදය කවය හරහා ඉඩ ප‍්‍රස්ථාව සලසා තිබෙනවා.

හිරු පුස්තකාලය

              ‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ කියන කියමනට අපි පුංචි සංශෝධනයක් එකතු කළා. ‘අර්ථවත් පොතපත කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ අපි එහෙම කියන්නේ අද වෙනකොට මේ සමාජයට මුදාහැරලා තිබෙන බොහෝ පොතපත මනස දූෂණය කරන්නට තරම් සැහැසි ප‍්‍රකාශන වී ඇති නිසයි.
              අපි ළඟ හොඳ පොත්පත් ටිකක් තියෙනවා. අපි ඒ පොත් පත් අපේ ගමේ දූ දරුවන්ට, තරුණ තරුණියන්ට, වැඩිහිටියන්ට කියවන්න දෙනවා. හිරු පුස්තකාලය නිසා අපේ ගම දැන් අකුරු වෙනුවට ජීවිත කියවන්න පටන් අරගෙන තිබෙනවා.

අකුරු පෙර පාසල

අකුරු පෙර පාසල තුළින් අපි සිඟිති දූල පුතාලගෙ පූර්ව ළමාවිය සංවර්ධනයට යොමුවෙනවා. මේ සඳහා පෙර පාසලේ ගුරුතුමියන් 03 දෙනෙක් වෙහෙසෙනවා. මේ වන විට කුඩා දූ පුතුන් 30ක් පමණ අකුරු පෙරපාසලේ ඉගෙනුම ලබනවා. මේ පුංචි මනස් නිවැරදිව, මනෝ විශ්ලේෂණිකව හඳුනාගත් අපි පුංචි දූලා පුතාලට ජීවිතයට නිවැරදි ආරම්භයක් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. (අකුරු පෙරපාසල සඳහා පමණක් අපි සුළු මුදලක් අයකරනු ලබනවා. ඒ ගුරු මණ්ඩලයේ නඩත්තු කටයුතු සඳහා. සංවේදී මිනිස් පවුර බේරුවල ප‍්‍රදේශය තුළ සිදුකරන එකම මූල්‍යමය ගණුදෙනුව මෙය පමණයි.

පෙරඹර සංස්කෘතික මණ්ඩපය

සිංදු කියන්න, නටන්න, නාට්‍ය රඟපාන්න වගේම විවිධ කලා කුසලතාවයන් ඇති ඒවා වර්ධනය කරගන්න ආස දූ පුතුන් අපේ ගමේ ඉන්නවා. ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කරගැනීම සඳහා මෙන්ම එම කුසලතාවයන් ගම තුළ මෙන්ම ගමෙන් පිටතත් වේදිකාගත කරන්නට ඉඩකඩ ලබාදීම පෙරඹර සංස්කෘතික මණ්ඩපයේ අරමුණයි. මේ වන විට පෙරඹර සංස්කෘතික මණ්ඩපය හරහා දක්‍ෂ කලාකරුවන් සමාජගත කිරීමට මෙන්ම සාර්ථක කලා මහෝත්සව කළඑළි ගන්වන්නට අපට හැකිවී තිබෙනවා.

දුයිශෙන් ඉස්කෝලෙ

                  අපි චිංගීස් අයිත්මාතව්ගේ ‘ගුරු ගීතය’ කියෙව්වා. ගුරු ගීතයේ අකුරු නෙවෙයි ජීවිත කියෙව්වා. ඒ කියවීමේදී  දුයිශෙන් මහා සාරවත් මිනිසෙක්ව අපට අභිමුඛ වුණා. අපි දුයිශෙන්ට ආදරය කළා. දුයිශෙන්ව අපේ පොලවේ ජීවත්කරවන්නට අපිට  ඕන වුණා.
                   අපි අපේ ගමේ  ඉස්කෝලයක් පටන්ගත්තා. ඒ ඉස්කෝලෙට දුයිශෙන් ඉස්කෝලෙ කියලා නම තිබ්බා. අකුරු පන්තියේ ඉඳන් අ.පො.ස. උසස් පෙළ දක්වා දරුවන්ට අපි දුයිශෙන් ඉස්කෝලෙදි සිප්සතර ලබාදෙනවා. හැබැයි ඒ වෙනුවෙන් අපි රුපියලක්වත් අයකරන්නේ නැහැ. ඉගැන්වීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය අපිට කෝටියක් වටිනවා. අපෙන් ඉගෙනගන්න දරුවන්ගේ බුද්ධි වර්ධනය දිහා බලලා අපි නිහතමානීව සතුටු වෙනවා.

සියැටල් පරපුර

           අපි ළමා ලෝකයට වැඩිපුර සංවේදී වෙනකොට අපිට අවබෝධ වුණ කාරණයක් තමයි අද ළමා පරපුර මෙන්ම තරුණ පරපුර ගහ කොළට, සතාසීපාවාට ආදරය නොකරන යාන්ති‍්‍රක දිවි පෙවෙතකට යොමුවෙලා තියනවා කියන අවාසනාවන්ත යථාර්ථය. ගහ කොළට ආදාරය නොකරන පරම්පරාවකින් තෙතමනයක් ඇති හිතක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? නිර්මාණ උල්පතක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මානව සමාජයට ආදරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
            අපි සියටල් පරපුර නිර්මාණය කරමින් සිටිනවා. ගස්කොළන්වලට ආදරය කරන ඒ උතුම් පරපුර නිර්මාණය කරමින් සිටිනවා. ගස් හිටවලා, වතුර දාලා, ආදරයෙන් ගහ හදලා, මලක් පිපෙනකොට ඒ දිහා බලලා හිනාවෙන පරම්පරාවක් අපි බිහිකරමින් සිටිනවා. සියටල් පරපුර තුළින් තෙතමනයක් ඇති ලස්සන හිත් අපේ ගමට කැන්දන්න හැකි වේවි. 

විශ්ව ප‍්‍රජා මණ්ඩලය

           ගමක් තනන්න, පරපුරක් බිහිකරන්න ලේ දහඩිය කරපු තාත්තලා වගේම ලේකිරි කරපු අම්මලා ගම වෙනුවෙන්, සමාජය වෙනුවෙන් තම ජීවිතයේ උතුම් කාලය කැපකරලා අද වෙනකොට පවුල තුළ හුදකලා වී සිටින්නේ ‘දැන් ඉතින් අපේ කාලෙ ඉවරයි’ කියන සිතුවිල්ලට කොටුවෙලා. ඒත් අපේ විශ්වාසය ගමක් ලස්සන කරන්න, ගමක් ගොඩනගන්න, ගමට ආදරය කරන සමාජ සංවිධාන වගේම දෙමාපියන් ද එක හිතින් අත්වැල් බැඳගත යුතු බවයි. දරුවන්ගේ ලෝකය ලස්සන කරන්න ගමම එකම පවුරක් සේ එක්ව කි‍්‍රයාකළ යුතු බවයි.
          අපේ මේ විශ්වාසය තුළ අපි රටට ලස්සන ගමක් බිහිකරන්න විශ්ව ප‍්‍රජා මණ්ඩලය නිර්මාණය කළා. ගමට වටින, රටට වටින උතුම් මිනිසුන් එක්ක හැකි උපරිම සීමාවේ වැඩකලාවක් තුළ ගම ගොඩනංවන්න, සාමූහිකත්වය වර්ධනය කර ගම සංවර්ධනය කරන්න විශ්ව ප‍්‍රජා මණ්ඩලය හරහා අපි උත්සාහ දරමින් සිටිනවා.
          ගම සාමූහික කළ තරමට ගමට දිනාදිය හැකි ජයග‍්‍රහණ අපමණ නිසාම විශ්ව ප‍්‍රජා මණ්ඩලයට ගම තුළ කරන්නට ඇති දේ අපමණයි.
          මේ ව්‍යුහයන් හරහා සංවේදී මිනිස් පවුර බේරුවල ප‍්‍රදේශය කේන්ද්‍ර කරගෙන පොදු ජන මනස සංවර්ධනය කරන්න යෝධ ගමනක පුංචි පියවර කිහිපයක් ඉදිරියට පැමිණ තිබෙනවා. බේරුවලට පමණක් සීමා නොවන අපේ සිතීම තුළ අපි විවිධ ප‍්‍රදේශ ගවේෂණය කරමින් පුළුල් කි‍්‍රයාකාරකම් කරමින් සිටිනවා. එහි ප‍්‍රතිඵල ලෙස මේ වන විට අපට යාපනයේ උඩුවිල්, නාරන්තනෙයි, චාවකච්චේරි සහ පේදුරුතුඩුව වැනි ප‍්‍රදේශවල ළමා හා තරුණ කණ්ඩායම් සමඟ කටයුතු කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ සහෝදර බැමි නිසා අපිට ඇත්තේ අසීමිත ආශ්වාදයක්.
           සංවේදී මිනිස් පවුර බේරුවල ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක වන්නේ ගල්පොත්ත සංවේදී පියස මධ්‍යස්ථානය කොට ගනිමින්. වර්ග අඩි 2000ක පමණ බිම් මහලකින් සමන්විත සංවේදී පියසේ පළමු මහල රඟහලක් ලෙස සකස් කරගැනීම අපේ අනාගත සිහිනයක්.
            සංවේදී මිනිස් පවුර ලෙස අප යන මේ ගමන ඇත්තෙන්ම අසීරුයි. වැටි වැටි නැගිටිමින් යන මේ ගමන තුළ අසීරුතාවයන් නිසාවෙන්ම ගමන අතහැර දමන්නට අපට බලකෙරෙන වාර අනන්තයි. අප‍්‍රමාණයි. ඒත් මොනතරම් අසීරු වුවත් මොනතරම් දුෂ්කර වුවත් මොනතරම් කටුක අත්දැකීම්වලින් සමන්විත වුවත් මේ මාවතේම ගමන් කරන්නට ඒ හරහා මිනිස් සමාජයට අවම යුතුකම්වත් ඉටුකරන්නට අපි තීරණය කර අවසන්. ග‍්‍රාමීය මිනිස් සමාජය මෙන්ම නාගරික මිනිස් සමාජය තරණය කරමින් සියලූ මිනිස් ජීවිත බුද්ධිය හා තෘප්තිය පිරි දියුණු සමාජ තලයකට ඔසවා තබන්නට අප දරණ උත්සාහයේ දී අපත් සමගින් අත්වැල් බැඳගනිමින් විවිධ ක්ෂේත‍්‍රවල සිටින අපේ සහෘදයින් අපව දිරිමත් කිරීම අපට මහත් ශක්තියක්. යථා පොළව තුළ සමාජයම දියවීමක් උදෙසා අප දරණ වෙර හමුවේ අපට ශක්තිය සපයන අපට හුස්ම දෙන අව්‍යාජ මිනිසුන්ගේ ඒ අමිල දායකත්වය හෙට දිනයේ ද අපට වඩවඩා අවශ්‍යයි. අප සමඟ අත්වැල් බැඳගන්නා පරාර්ථකාමී මිනිසුන්ගේ ශක්තිය ද එක් රැුස්කරගෙන වඩවඩා සමාජගත වන්නට අපි දැඩි වුවමනාවකින් කටයුතු කරමින් සිටිනවා.
 
සංවේදී මිනිස් පවුර
සංවේදී පියස,
ගල්පොත්ත,
බේරුවල,
ශී‍්‍ර ලංකාව
.

You can leave a response, or trackback from your own site.

1 Response to "සංවේදී මිනිස් පවුර"

  1. Anonymous says:

    සහෝදරවරුනි

    හරි අමාරුවෙන් ඔයාල ඉන්නව කියල හොයාගත්තෙ.
    මම ඔයාලව දැකල තිබුනෙ නෑග
    ඒත් මම ඔයාලව ඊයෙ දැක්කා.
    මම ඔයාල දිහා බලාගෙන හිටියා.
    ඔයාලගෙ බ්ලොග් එකේ තියෙන් මේ අදහස ගන මොකද හිතෙන්නෙ?

    ජාතික ගැටළුවට...
    යුද්ධය දකුණ හා උතුර විසින් නිර්මානය කරන ලද්දකි. ජාතික ගැටළුවට පෙනෙන තෙක් මානයේ විසදුම් නැත. අපට කල හැක්කේ කුමක්ද යන්න පිලිබදව අප සිතා බැලිය යුතු වේ.

    ඉතිං ඒ ගැන හොද සාකච්ජාවක් සූරිය ශාලාවෙදි තිබුණා.
    ඒ සාකච්ජාව ඔයාලට ඇහුනද මම දන්වන නෑ.
    මම හිටියෙ ඉස්සරහම.
    ජාතික ගැටලුව ගැන මෙච්චර සීරියස් ලියන කියන ඔයාල එතන වෙච්චි දේ දන්නවද?
    මම දැක්ක එකම දේ ඔයාල එතන ඔයාලගෙ වෙනම රැස්වීමක් තිබ්බා.
    අපරාදෙ ඒක ඔයාල යුනියන් ප්ලේස් එකට එන්නෙ නැතිව මරදානෙම තියන්න තිබ්බා.

    සහෝදරවරුනි

    ලොකුකථා කියන්න කලින් අහගන ඉන්න පුරුදු
    වෙන්න වෙයි නේද?

    එතන වෙච්චි සාකච්ජාවෙ මූලික අදහස් ටික මම ඔයාලට ඕන්නම් කියවන්න එවන්නම්

    මම පැතුම් සේනානායක

    මගෙ විද්‍රයුත් තැපැල් ලිපිනය pathum_rex@yahoo.com

Powered by Blogger