මං මුලා වී ආ තිලකසේන සහ හසරක් අසමින් ගිය සුචරිත ගම්ලත් හෙවත් “තමුසෙ පලයං ඕයි ” උභතෝකෝටිකය.


දිනය - 2010 අප්‍රේල් 27
ස්ථානය - මරදාන ලංකා අක්ෂය
වෙලාව - සවස 6.00
මාතෘකාව - සිංහල ලිඛිත ව්‍යවහාරයට ව්‍යාකරණමය වෙනසක් අවශ්‍යද?
දේශකයා - අජිත් තිලකසේන

දශක ගණනාවක් තිස්සේ සිංහල භාෂාවේ ව්‍යාකරණමය වෙනසක් පිළිබඳව හුදෙකලා අරගලයක නිරත වන අජිත් තිලකසේනව දැකබලා ගැනීමට පිරිස එක් රොක් වූයේ මින් පෙර සජීවී ව ඔහුව දැක නැති නිසා ත් අසම්ප්‍රදායික ලේඛන රීතියක් අනුගමනය කරන්නෙකු ත් නිසාය. ‘වෙන සැප කුමට ඔබ දකිනා එම පමණ’ ලෙසින් මා ද ඊට එක් වූයේ කාලයක් තිස්සේ මෙන් ම අදටත් ඔහුගේ ලියවිලි තුළ සැරිසරන්නෙක් නිසා ය.

අනෙකාගේ ලේඛන රීතියෙන් හාත් පසින්ම පරිබාහිර වූ ශෛලියක් වැළඳ ගත් ඔහුගේ ආඛ්‍යාන තුළ තිබූ ආකර්ෂණීයමය තත්ත්වය හේතුවෙන් ඔහු කෙරෙහි සැලකිය යුතු පාඨක ප්‍රජාවක් නිර්මාණය වූවා යැයි අපි සිතමු.

ඔහු 1960 සිට 2004 දක්වා කෙටි කතා ග්‍රන්ථ නවයක් ද 1978 සිට 2008 දක්වා කවි සහ සංයුක්ත කවි වශයෙන් කව්‍ය ග්‍රන්ථ ත්‍රිත්වයක් ද නාටය පිටපතක් ද තිර නාටකයක් ද ප්‍රබන්ධ සමහරක් ද සිංහල සාහිත්‍ය වපසරියේ ස්ථානගත කරමින් ලේඛනයේ වෙනස් වූ මගක ඇදෙන්නෙක් ලෙසින් ප්‍රසිද්ධ විය. එසේ පොදු කුලකයන්ගෙන් වියුක්තව හැදී වැඩුණු ලේඛන ආශ්‍රයක් සමග සාකච්ඡා කිරීමට අපි මහත් උද්‍යෝගයෙන් පැමිණියෙමු. මේ අතර සංවාදය තුළ මහාචාර්ය සුචරිත ගම්ලත් ද අසුන්ගෙන සිටීම කාගේත් මන දොළ පුරවන්නට වූයේ භාෂාව සහ ව්‍යාකරණය පිළිබඳව උද්වේගකර කතා බහක් ආරම්භ වීමේ ආශ්චර්යවත් මොහොත දැන් දැන් උදා වේ යැයි සිතූ නිසාය. නමුත් තත්ත්වය එසේ නොවීය. දෙදෙනා වෙනස් සම්ප්‍රදායන් ගුරු කුලයන් දෙකක් නියෝජනය කළ ද ඒ තුළ හීන් නූල් ඒකමිතියක් ගොඩනගා ගත් හ. මෙසේ කොළ වසා ගැසීමේ සාකච්ඡාමය මොහොත උදා විය.

අජිත් තිලකසේන මහතා ස්වකීය ලේඛන රීතියේ ආගමනය සහ එයට බල පෑ සංසිද්ධීන් වර්ෂ වලින් ගෙනහැර දැක්වී ය. එසේ කරුණු රාශියක් ඔස්සේ ඔහු විසින් නිර්මිත ලේඛනයකට හුරු වූ බව කියා පෑවේ ය. තිලකසේන මහතා ගේ සාකච්ඡාවේ දී ඔහු දැඩි ලෙස ප්‍රකාශ කරනුයේ කට වහරින් ලේඛනය සිදු කළ යුතු බව යි. කතා කරන භාෂාවෙන් ලිවීමේ නිරත වීමක් පිළිබඳව අදහස් දැක්වීමේ දී ඉදිරිපස අසුන් ගෙන සිටි සුචරිත ගම්ලත් මහතා නිහඬව අසා සිටියේ ය. කවුරුත් තිලකසේනගේ කට වහරින් කළ යුතු ලේඛනය පිළිබඳව අසා සිටිද්දී නැවත ත් තිලකසේන කට වහරේ ව්‍යාකරණයක් ඇති අතර එය රකිමු යැයි ද ප්‍රකාශ කළේ ගම්ලත් ගේ කනෙන් රිංගා යාමට යැයි මට සිතේ. ගම්ලත් ද එය හිස වනා අනුමත කළේ ඇයි දැයි නම් මා නොදනී.

අවංකවම කට වහරට ව්‍යාකරණයක් තිබේ ද? තිබේ නම් එය කුමක් ද? තිලකසේන පවසන ආකාරයේ කට වහරේ ව්‍යාකරණය කුමක් ද? ගම්ලත් හිස වනා අනුමත කළ කට වහරේ ව්‍යාකරණය කුමක් ද? මාගේ පිළිතුර නම් කට වහරට ව්‍යාකරණයක් නොමැත යන්න යි. ව්‍යාකරණයක් ඇත්නම් එය කට වහර වන්නේ කෙසේ ද? තිලකසේන ගේ ඇන ගැනීම සහ ගම්ලත් ගේ බබා හුකුං නිහඬභාවය අපි තව දුරටත් සාකච්ඡා කරමු. කට වහරට ව්‍යාකරණයක් නැත. ඇත්තේ යුක්තාර්ථයක් පමණි. එය ගම්ලත් ද නොදන්නවා නොවේ ය.

උදා - යුක්තාර්ථවත් වාක්‍ය සමහරක්

1. ගහ කොළ වැල වවන්න.
2. ගල් වැලි ගඩොල් බාන්න.
3. හිරු සඳු තරු බලන්න.
4. මේස පුටු බංකු ගෙනියන්න.

මේ වාක්‍ය වල ඇති වචන එකිනෙක හා ගැලපෙන අර්ථයකින් යුක්ත ය. එකම වාක්‍ය තුළ විසංවාදී අර්ථ සහිත වචන නොමැත. එනම් ගහ කොළ පුටු වවන්න යනුවෙන් පවසා නැත. හිරු සඳු ගඩොල් බාන්න යනුවෙන් පවසා නැත. ඉඳින් දැන් කට වහරේ පවතින යුක්තාර්ථය පැහැදිලි වනවා ඇත. නමුත් තිලකසේන පවසා සිටියේ කුමක්දෝ කට වහරේ ව්‍යාකරණයක් පිළිබඳව ය. ව්‍යාකරණයක් තිබේ නම් එය කට වහරක් වන්නේ කෙසේද යන්න මම නැවතත් ප්‍රශ්න කරමි.

එසේ තිලකසේන ගේ අදහස් ඉදිරිපත් කිරීම අවසන් වි සංවාදය ඇරඹිණි. හෂිත සහෝදරයා ගම්ලත්ගෙන් ඇසූ පැනයෙන් සංවාදය උණුසුම් වේ යැයි කවුරුත් සිතුවත් එය එසේ නොවීය. හෂිත ගේ ප්‍රශ්නය වූයේ ‘හඩු සිංහල ලියනවා යැයි ඔබ බැණ අඬ ගසද්දී මෙසේ කට වහරින් ලේඛනය පවත්වා ගෙන යාම ගැන ඔබ එකඟ වනවා ද?’ යන්න යි. ගම්ලත් ගේ පිළිතුර වූයේ දෙකටම නැති මගුල් ලියනවාට වඩා කුමක් හෝ එක දෙයකින් ලිවීම අනුමත කරන බවකි. මා එයට එකඟය. නමුත් ගම්ලත් ගේ සැබෑ පිළිතුර එය නොවන බව දනිමි. ඔහු‍‍‍ගේ කෘති, ලියවිලි සහ දෙසුම් ඇසුරු කරමින් ලද දැනුමින් අප එය දනී. ඒ මොහොතේදී සිදු වූ‍යේ වෙන කිසිවක් නොව ගම්ලත් තිලක‍‍සේන ගේ පිට කැසීමත් තිලකසේන ගම්ලත් ගේ පිට කැසීමත්ය. සංවාදයක් ලෙස මතු විය යුතු හෂිත ගේ පැනය ලත් තැනම ලොප් කර දැමුණි. ඉන් පසුව මේ තරම් සළු පිළි අන්දවන ගම්ලත් ගෙන් අපේ අධෝ මාර්ග බේරා ගැනීමට සිදු විය.

එසේම ගම්ලත් ගේ විසංවාදී පිළිතුරු ඇරඹුණේ හෂිත සහෝදරයාගේ දෙවන ප්‍රශ්නයේ දී ය. එනම් ‘භාෂාව සන්නිවේදන මෙවලමක් ලෙස ගෙන ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස අතහැර අදහස් හුවමාරු කිරීමට පමණක් ලඝු කරමු ද?’ යන්න යි. එයට ගම්ලත් ගේ පිළිතුර වූයේ එය භාෂාව පිළිබඳව නොදැනුවත් භාවයෙන් අසන ලද්දක් බවයි. ගම්ලත් දෙවන ප්‍රශ්නයේ දී ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස ගැන දැඩි මතයක් දරන අතර පළමු ප්‍රශ්නයේ දී එය එසේ නැතැයි යන්න ගම්‍ය වන පිළිතුරක් ලබා දුණි. ගම්ලත් ට තිලකසේන සමග තිබෙන ඇඟෑලුම් කමකට හෝ වෙන මොන යම් හෝ දෙයක් හේතුවෙන් පය බරයාවට තබා පිටිකර බෙහෙත් බඳින තත්ත්වයට හෝ පීරා ඈතින් කෙස් ගෙනත් තට්ටය යන්තමින් වසා ගැනීමට සිදු විය.

මෙම සංවාදය පුරාම වාදයන් ප්‍රතිවාදයන් ගැටී ගොඩනගා ගත හැකි සාර්ථක සහවාදයක ලක්ෂණයක් තියා සෙවණැල්ලක් වත් නොපෙනුණි. අසාර්ථක සංවාදයක් තුළ අජිත් තිලකසේන සහ සුචරිත ගම්ලත් යන දෙදෙනා ගේ හූරු තුඩ සීවල් තැබුවා සේ දෙදෙනා දෙපොලක දෙතැනක කොහේදෝ හාරා ගෙන ගියහ. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වී පොල්ලෙන් ගසා ගන්නට බලා සිටිය වුනට සිදු විය.

තිලකසේන සිංහල භාෂාව සරල සුගම කිරීමේ හුදෙකලා අරගලයක නිරත වුව ද එය තාර්කික ව ඉදිරිපත් කර ස්වකීය මතය කාන්දු කිරිමේ ඇති අපොහොසත්භාවය සංවාදය පුරාම පැවතුණකි. භාෂාවක් පිළිබඳව ඔහු ඉදිරිපත් කරන කරුණු වල අනාගත සත්තාව පිළිබඳවම ඇත්තේ අපැහැදිලි බවකි. ඔහුගේ අක්ෂර සහ පිල්ලම් පිළිබඳව මාගේ ප්‍රශ්න කිරීමේ දී එයට, බාල ගිරි දෝෂය අද නෑ හෙට යනුවෙන් පිළිතුරු ලැබුණි. තවද න, ණ, ල, ළ අක්ෂර යෙදීමේ දී එක අකුරක් පමණක් භාවිතයට ගැනීමේ දී වචනයකට සිදුවන අර්ථ සංහාරය පිළිබඳ ප්‍රශ්නයේ දී එම අකුරු යෙදෙන පරිසරය මත පිහිටා අර්ථය තේරුම් ගනිමු යැයි ප්‍රකාශ කිරීම මට අනුව නම් යුක්ති සහගත නොවන්නකි. මන්ද කවියක දී එය කිසිසේත් ම වලංගු නොවන්න කි. කවියෙකු ට ස්වකිය ප්‍රතිභානය හා මුසුව ගොඩනගන අවස්ථාව මතම වෙනස් අර්ථ මතු කිරීමේ උපකරණමය හැකියාව ඉන් අහිමි වන අතර සහෘදයෙකු ට වුව ද රස විඳීමේ දී බරපතල රස වින්දන බාධා පමුණුවනු ඇත.

උදා -
කල - කාලය
කළ - ක්‍රියාව
මල - පුෂ්පය
මළ - මැරුණු

කවියක මෙසේ සඳහන් වුණි යැයි සිතන්න.
1. ‘ රෑ කළ වැඩ......’
2. ‘ ඉර මළ ට පසු......’

තිලකසේන මහතාගේ උගැන්වීම් ව්‍යාකරණයට අනුව මෙය ලිවිය යුත්තේ මෙසේය.
1. ‘ රෑ කල වැඩ......’
2. ‘ ඉර මල ට පසු.....’

මොහු ගේ ඉගැන්වීම මත මෙහි පරිසරය මතවත් අර්ථය වටහා ගත නොහැක. පළමු වැකියේ රෑ කරනු ලැබූ වැඩ ගැන අදහස් කරයි. එය තිලකසේන න්‍යායේ දී රෑ කාලයේ වැඩ ගැන අදහස් දෙයි. එහිදී කවියා ලියූ දේ වැරදි විදියට අර්ථ නිරූපණය වෙයි. දෙවන වැකියේ දී ඉර මැරණාට පසු යන්න ගම්‍ය වෙයි. නමුත් එයම තිලකසේන න්‍යායට අනුව ලිවිමේ දී ඉර නමැති මල ලෙස හාත් පසින්ම වෙනස් ම වූ අර්ථ සංහාරයක් සිදු වෙයි. එනම් මුල් අර්ථයෙන් පරිබාහිර රූපකාර්ථයක් ගනී. එසේ හෙයින් කවියක දී අකුරු යෙදෙන පරිසරය අනුව වත් නිවැරදි අර්ථය සොයා ගත නොහැකි බව තිලකසේන තේරුම් ගත යුතුව ඇත.

සංවාදය අවසානයේ මා පෞද්ගලිකව ඔහු සමග කළ ප්‍රශ්න කිරීමේ දී ලේඛනයේ දී කට වහර භාවිතා කිරීම මගින් අර්බුද සමනය වන බවක් නැවත ප්‍රකාශ කළ ද කතා කරන භාෂාවෙන් ලිවීමේ දී යම්කිසි ගද්‍ය ආඛ්‍යානයක ප්‍රමිතිගතභාවය අපි කෙසේ නිර්ණය කරමු දැයි ඇසූ විට ඔහුට ඒ සඳහා පිළිතුරක් නොතිබුණි. එහිදී ඔහු කලින් කී දෙයක් නැවතත් කියමින් ලේඛන වහරත් කට වහරත් සම්මිශ්‍රණය කොට ලිවීම හෙවත් ඇට්ටකුණා කර ගැනීමක් (ගම්ලත් ට අනුව හඩු භාෂාව) වැනි මධ්‍යම ප්‍රතිපදා බෝලයක් පාස් කරයි. හඩු සිංහලයට පුන පුනා බනින ගම්ලත් ද එවිට මුනිවතම රැක සිටියේ එවැනි ලේඛනයකට හැන්සාඩ් වාර්තාව උදාහරණයක් ලෙස තිලකසේන පෙන්වා දෙද්දී ය.

තිලකසේන පෙන්වා දෙන ආකාරයට කට වහරින් ලිවීම ඇරඹුන හොත් මෙවැනි දෑ සිදු වනු ඇත.

1. ළමයෙකුට හෝඩිය සහ අකුරු ලිවීම පමණක් උගැන්වීම ප්‍රමාණවත් වේ. ඉන් ඔබ්බට සිංහල භාෂා ගුරුවරු පාසල් වලට අවශ්‍ය නැත.

2. වර්තමාන සිංහල හෝඩිය සහ අකුරු ලිවීම කියවීම ළමයෙකුට උගැන්වූ පසු ඔහු සිංහල භාෂාවේ පරිපාකයට පත් වීම.(මන්ද තිලකසේනට අනුව භාෂාවේ වෙනත් යමක් ඉගෙන ගැනීමට නොමැති විම සහ ඉන් පලක් නොවිම. - මෙය බැලූ බැල්මට නම් මරු ය. )

3. ඒ අනුව පාසල් වල සිංහල භාෂාව යනුවෙන් ප්‍රශ්න පත්‍රයක් සෑදිය නොහැකි වීම. (ඉන් පසුව සිංහල භාෂා ගුරුවරු ත්‍රීවිලරයක් හෝ පදවා එදා වේල සරි කර ගත යුතු වේ. සන්නස්ගලට නම් එසේ කළ යුතු නොවේ.)

4. භාෂාවේ ව්‍යාකරණමය කිසිඳු අංගයක් පිළිබඳව නොසලකා ලේඛනයේ යෙදිය හැකි වීම. උක්ත ආඛ්‍යාත වල සිට වචනත්‍රය, කාලත්‍රය, පුරුෂත්‍රය හරහා විභක්ති, සමාස, සන්ධි, කර්මකාරක, කෘදන්ත, තද්ධිත ඈ මෙකී නොකී සියලුම දෑ අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත ලෑම. එය ද ප්‍රශ්නයක් නැත. නමුත් ඉක්බිතිව මැටි මෝලුන් සේ ලිවීමේ නිරත වන ප්‍රජාවක් උත්පාදනය වීම.

5. සිංහලයේ මෙතෙක් තිබූ භාෂණය සහ ලේඛනය යන දෙවදෑරුම හැඳි ගා අතු ගා දමා භාෂණයම ලේඛනය ලෙස වැළඳගැනීම. (කුණු හරුප බහුල ලෙස අපේ කට වහරේ තිබෙන බැවින් අමු තිත්ත කණු හරුපයෙන් ද ලේඛනයේ යෙදිය හැකි වීම. යමෙක් ඒ ගැන ප්‍රශ්න කළොත් අපි තිලකසේන මහත්තයා කියා දුන් කට වහරින් ලියනවා යැයි කිව හැක)

6. කට වහරින් ලිවීම හුරු කරන තැන්හි සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍ය විස්ථාපනය වී නූතන සාහිත්‍ය කෘති ද පුස්තකාල ද කුණු ගොඩවල් වී වැළලී යන තැන් හි සාහිත්‍යක් පිළිබඳ ව සුභ සිහින දැකීම හමාර වීම.

7. කට වහරින් ලිවීම ප්‍රගුණ කළ වුන් කතා කරන භාෂාවෙන් සිංදු ලිවීමට පටන් ගැනීම. (අදට ත් මෙය අඩු වැඩි වශයෙන් සිදුවන අතර මේ අනුව අධෝ මුඛයෙන් වමනෙ යන ගීත අනාගතයේ දී ඇසෙනු ඇත.)

කරුණු එසේ වුව ද තිලකසේන මහතා සංවාදයට ප්‍රවිෂ්ට විය යුතු ව තිබුණේ එසේ නොව. ඔහු ප්‍රකාශ කළ යුතු ව තිබුණේ මා නිවැරදිව භාෂාව හදාරා සම්ප්‍රදාය අත්හල බව ත් ඔබ ද නිවැරදිව හදාර අවශ්‍ය නම් ඔබේ ආඛ්‍යාන රීතිය ගොඩනගන්න යන්න යි.

මෙම සාකච්ඡාව තුළ මතු නොවුව ද ඔහු විසින් පෙන්වා දෙන සඤ්ඤක ‘අ’ අකුරත් සඤ්ඤක ‘හ’ අකුරත් වර්තමාන සිංහල හෝඩියට ඈඳිය යුතු බව මම පිළිගන්නකි. හැඬුම් හඬක් හෝ එවැනි ශබ්දයක් ලිඛිතව ලිවීමට ඇති අපහසුතාවය ඔහු විසින් දැකීම පසසමි. තිලකසේන ගේ හුදෙකලා අරගලයේ සාධනීය අංගෝපාංගයන් අගයන අතර ඔහුගෙන් ව්‍යුත්පන්න වන කතිකාව භාෂාවක අනාගත පැවැත්ම සඳහා ප්‍රබල පිටිවහලක් නොසපයන බව කණගාටුවෙන් කිව යුතු ය.

භාෂාවක් අලුත් විය යුතුය යන්න අතීත විද්වතෙක් පල කළ අදහසක් ඔහු මෙහි දී ගෙන හැර දැක් වී ය. “කැණීම් කරද්දී ශත වර්ෂ ගණනාවක් ඉපැරණි පිහියක් හමු වූ විට අපි එය පාන් කපන්න ගන්නවා ද? එසේත් නැතිනම් එය කෞතුකාගාරයේ තබනවා ද ?” නමුත් මා කියා සිටිනුයේ එය තවමත් මුවහත් නම් එය පරයා යන නිෂ්පාදනයක් ද තවම නොමැති නම් පාන් කැපීමට සුදුසු ම පිහිය එය බව යි. භාෂාවක් ගතික ය. ක්‍රම ක්‍රමයෙන් අලුත් වන බව නිසැක ය. නමුත් තිලකසේන ගේ නව භාෂාවක එළඹුම් යෝජනා අසංවිධානාත්මක ය. එවන් භාෂාවක අපගමන සම්භාවිතාව ඉතා ඉහල ය.

සංවාදය අතර තුර සුචරිත ගම්ලත් කිසිවක් නොකියා නැගිට යාම මහාචාර්යවරයෙකු ට යුක්ති යුක්ත නොවන අතර ප්‍රධාන දේශකයා වූ අජිත් තිලකසේන ඔහුට එතෙක් ඇහුම් කන් දුන් පිරිස බලා සිටිද් දී කිසිත් නොකියා ම නැගිට යාම පිස්සු පීකුදු ක්‍රියාවකි. මේ සන්තෑසිය වාඩි වී බලා සිටි අප යා යුතු පාර ඇසූ විට “තමුසෙ පලයං ඕයි.....!” වැනි අණ්ඩර දෙමළ උත්තරයක් ඉතුරු කරමින් පැය දෙකක් හමාර විය.

ඉතිං මට ප්ලේන්ටියක් බොන්න සිත් විය.

“ප්ලීස් මෙයා....අර රාක්කෙ උඩ තියෙන කෝප්පෙ කොණ්ඩු වාංග..”

කනේ වැලි අනේ...!

(සංවාදයට විවෘතයි.)

ඉස්සුවේ බූන්දියෙන්
                               

                           ----------   වීරයා ------------

You can leave a response, or trackback from your own site.

0 Response to "මං මුලා වී ආ තිලකසේන සහ හසරක් අසමින් ගිය සුචරිත ගම්ලත් හෙවත් “තමුසෙ පලයං ඕයි ” උභතෝකෝටිකය."

Powered by Blogger