Showing posts with label සිද්ධි. Show all posts
Showing posts with label සිද්ධි. Show all posts

යුධ ජයග‍්‍රහණයෙන් වසරකට පසු ‘හෘදයසාක්‍ෂිය’ ?

පහත පළවන්න හරියටම මීට වරකට ඉහතදී මවිසින් ලියන ලද්දකි. එහි අන්තර්ගත වන්නේ ඒ මොහොතේ මා අත්දකින ලද හැඟීම් සමුදායක් වචනයට නැංවීමට දරන ලද්දාවූ උත්සාහයකි. සමහරවිට ඔබ ඒ කාළයේ මෙය කියවා තිබෙන්නට පුළුවන. නමුත් වසරකට පසුවද නැවත වරක් එය කියවීමට මා බවට ආරාධනා කරන්නේ අප ගෙවමින් සිටින මේ මොහොතට එහි කිසියම් අදාලත්වයක් ඇතිදැයි යන්න සිතිය යුතු යැයි මා සිතන බැවිනි.
හෘදයසාක්‍ෂිය
විදුර ප‍්‍රභාත් මුණසිංහ

දිනය - 2009. 05.19
වේලාව - රාතී‍්‍ර 11.17

විධිමත්ව යමක් ලිවීමට තරම් නිශ්චිතාවයකින් තොරව මේ මොහොතේ මා දරා සිටින්නාවු අවිධිමත් ශෝකය, දුක, සතුට, පී‍්‍රතිය වැනි භාෂාත්මක කියවීමකට රාමුගත කරගත නොහැකි හැඟීම විසින් අපහසුතාවයට, වියවුලට සහ උදාසීනත්වයට ලක්ව සිටින මා එසේ තිබියදීත් මෙම ලිවීම ආරම්භ කරන්නේ භාෂාවට නැංවිය නොහැකි අසීමිතභාවය වචනය නැංවූවිට සීමාසහිත වීමෙන් බිහිවන ආඛ්‍යානය විසින් ඊට පෙර නොවූ ගල් ගැසුනු අර්ථය ජනනය කරන්නේය යන පදනමේ සිටය. එබැවින් මේ වූකලි මට දැනෙන මේ යැයි කිව නොහැකි හැඟීමක් නිසා දැනෙන අපහසුතාවයට භාෂාව තුල කුමණ හෝ පිලිතුරක් සොයායමින් විසඳුමක්, සහනයක් ලබාගැනීමට දරන උත්සාහයකි. එසේ නොවූවහොත් මේ හැඟීම විසින් ඇතිකර ඇති උදාසීනභාවය මාගේ සාමාන්‍ය එදිනෙදා පැවැත්ම තර්ජනයට ලක්කරයි. එබැවින් මේ සත්‍යය සොයා යාමක් නොව වියුක්ත හැඟීම් සමුදායක් භාෂාත්මක ආඛ්‍යානයක් තුල සීමා සහිත කිරීමට දරන උත්සාහයකි (භාෂාවට පිටතින් වන සත්‍යයක් නොමැති බැවින් ලිවීමට පෙර තිබූ යම ලිවීමෙන් අනතුරුව තවදුරටත් නොපවතින බව මම දනිමි. නිශ්චිතව කුමක්දැයි නොදන්නා දෙය ආඛ්‍යානගත කිරීමෙන් පෙර පැවති වියවුල නිමවී නව සැනසිලිදායක අර්ථය පමණක් ඉතිරි වනු ඇත).

අද දිනය තුල මා දන්නා හඳුනන දෙදෙනකු අවස්ථා දෙකකදී පැවසූ වාක්‍ය දෙකක් ඔවුන් තුලද වන මා දරා සිටින වියවුල් සහගත හැඟීමට සමාන දෙයක ප‍්‍රකාශනයන් යැයි මට සිතේ.

1. ”ඇයි මිනිස්සු මේ තරම් රතික්‍ද්ක්‍දා පත්තු කරන්නේ, දෙපැත්තෙම මැරුනෙ අපේ මිනිස්සු නේද ?’
2. ”මොනව වූනත් ප‍්‍රභාකරන්ගෙ මිනියෙ මූණ දැක්කම මට හෝස් ගාල ගියා..”

මේ මොහොතේ පවතින සිදුවීම් අනුක‍්‍රමණයන්ද ගල් ගැස්විය යුතු යැයි මට සිතෙන්නේ පසු අවස්ථාවක මෙම සිදුවීම් මීට වඩා වෙනස් ලෙස ආඛ්‍යානගතවී තිබිහැකි (එය අනිවාර්යතාවයකි,  අප අතීතය කියවන්නේ වර්තමාන මොහොතේ සිටය) බැවිනි. එවිට මා විසඳුම හොයන මේ හැඟීමට පදනමක් නොමැති වනු ඇත (මා ගැලවීමට උත්සාහ දරන මේ හැඟීම පිලිබඳව ආදරයක්ද මා තුල පවතී, එය ගල්ගැස්විය යුත්තේ මේ ලිවීම අනාගත මොහොතක කියවීමේදී විඳින සෞන්දර්යය ?* වෙනුවෙනි).
              අද උදෑසන 9. 40 ට පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා ජාතිය අමතා කථා කළේය. වසර 30 ක් තිස්සේ පැවති යුද්ධය ජයග‍්‍රහණය කළ බව නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කෙරින. මුළු රටම පසුගිය දින 2 පුරාවටම රතික්‍ද්ක්‍දා හඬ්න් ගිගුම් දෙයි. මිනිසුන් වාහනවල නැග ඉමහත් ආනන්දයකින් කෑකෝ ගසමින් පාරවල්වල ගමන් කරති. රටම කිව නොහැකි ආනන්දයක පසුවෙයි. අද දහවල් 1. 30 ට ප‍්‍රභාකරන්ගේ දේහය රූපවාහිනියේ පෙන්වන ලදී. ලංකාවට නව රජෙක් ලැබී ඇති බවත් ලංකාව ඉතිහාසයේ විශිෂ්ඨතම ජයග‍්‍රහණය උදාකරගෙන ඇති බවත්, මෙරට අනගිභවනීය යුගයක් කරා පිවිස ඇති බව පැවසෙයි.
            මා අත්විඳීන අවිනිශ්චිතභාවයට පසුබිමින් ඇත්තේ මෙම සිද්ධිමය කාරණාවන්ය. මේ සියලූ සිදුවිම් විසින් නිර්මාණය කරන හැඟීම මා මිතුරකු කී ලෙස ‘එකපාරටම සුනාමිය ආපු වෙලාවෙ ඇතිවුන මොකුත්ම නැති හිස් හැඟීම’ හෝ එම හැඟීමේ නෑයකු වියහැකි යම් හැඟීමක් වියහැක. මේ මොහොතේ මේ හැඟීම භාෂාවට නැංවීම මාගේ සහනදායී පැවැත්ම ආරක්‍ෂා කරගැනීමක් මෙන්ම මේ මොහොතේ සෞන්දර්ය මඟහැරී යාම වැලැක්වීමක්ද වෙයි. ඒ අරමුණින් යුතුව මසිතට එන පෙළගැස්වීමක් නැති සිතීම් කිහිපයක් පෙළට තබමි.
 
1. පරිපූර්ණ ජයග‍්‍රහණයක/ පරාජයක සෞන්දර්යය
සිය සටන පරාජයට පත්ව අවසානයක් කරා ළගාවී ඇති බව දනිමින්ම විනාශය අනිවාර්යතාවයක් බව දනිමින්ම අවසන් භටයා මියයන තුරුම සමස්ථ කොටි සාමාජිකත්වයම සටන් කරන ලදී. කිසිත් දිනන්නට නොහැකි බව දනිමින්ම ලක්‍ෂ 2 ක හමුදාවක් 350 ක පිරිසක් වටකොට ඇති බව දනිමින් නායකයා, ඔහුගේ පුත‍්‍රයා, සියලූ නායකයින් ඇතුලූ සියලූම සාමාජිකත්වය එකකු හෝ යටත් නොවී පළා නොගොස් (සියලූ නායකයින්ට පළා යාමට ඉඩ ප‍්‍රස්ථා  ඕනෑ තරම් අවස්ථා විය) සිය මරණය දක්වා සටන් කළහ. මීට පෙර එවැන්නක් චිත‍්‍රපට හෝ වීරකථාවල හැරෙන්නට මා අසා හෝ දැක නැත. එබැවින් මේ සමස්ථ සිදුවීම මට මහා සෞන්දර්යයක් ගෙනඑයි. පරිපූර්ණ අවසානයක්, පරිපූර්ණ පරාජයක් සාහිත්‍යයේ මිස සැබෑ ජීවිතයේදී අත්විඳින්ට සිදුවෙතැයි මම කෙදිනක හෝ සිතා නැත්තෙමි. සාහිත්‍ය කෘතියක අපූර්වත්වය මේ සිදුවීම තුල අන්තර්ගතව ඇතැයි මට සිතෙන්නේ එබැවිනි.

2. තුවක්කු පහත්වෙයි
ජාතික රූපවාහියේ දර්ශන පෙළකින් කොටසක් සංස්කරණය කොට විකාශය කළ CNN නාලිකාව පවසා සිටියේ ශී‍්‍ර ලංකාවේ දෙමළ අරගලය අවසානයකට පත්ව ඇති බවයි. රූපරාමුවේ දැක්වුනේ මුලතිව් සටන් බිමේදී ගිනි තබා විනාශ කරන ලද කොටි කාලතුවක්කුවක බැරලය ඈතින් පෙනෙන තල්ගස් දෙකක් පසුබිම්කොටගෙන පහත්වන අයුරුය.

3. 1989. 11. 13 දා රාති‍්‍රයේ ඇසුනු රතික්‍ද්ක්‍දා හඩ
මුළු කොළඹම සිංහ ධජ වලින් සරසා ඇත. මීට පැය 1/2 කට පෙරද වාහනවල නැගුනු තරුණයෝ උද්දාමයෙන් සිංහ කොඩි ළෙලවමින් කෑ කෝ ගසමින් මහපාරවල්වල ගමන් කළහ. තැන තැන පිරිස් සංගීතයට නටති. තී‍්‍ර රෝද රථවල ප‍්‍රභාකරන්ගේ මරණ දැන්වීම් අලවා ඇත. ‘පරලොවට ඊළම - ඊළමට පරලොව’ එහි ලියැවී ඇත. සියලූ ජනමාධ්‍ය, කලාකරුවෝ, භික්‍ෂූන් වහන්සේ, විද්වත්හු මහා ජයග‍්‍රහණය සමරති. හෙට ජාතික නිවාඩු දිනයකි. (89 නොවැම්බර් මාසයේ දවසක රාති‍්‍රයේද මෙවැනි රතික්‍ද්ක්‍දා හඬක් ඇසුනා මතකයි)

4. සතුට
ජනමාධ්‍ය පුරා රණ ගී, ජය ගී, උදාන ගී, ජාතිකාභිමානී ගී වලින් ගිගුම් දෙයි.
  • මේ සිංහල අපගෙ රටයි...
  • ආයු රක්ඛන්තු ආවඩා..
  • අපටත් රජෙක් පහලව ඇත්තේ...
  • තුන් හෙළේ කැළෑ තුල සිංහ පැටව්...
  • .....
  • ....
  • උතුරේ ගම්මානයන්ට රණ විරුවන්ගේ නම් තැබිය යුතු බව ජාතික හෙළ උරුමය පැවසූ පුවතක් පුවත්පතක පළවී තිබිණ.
  • පොලීසිය සිංහ කොඩි දමා නොමැති කඩවලට ඒවා දැමීමට බල කරයි.
  • යුධ ජයග‍්‍රහණ සැමරීම නිසා පසුගිය සතිය පුරා අවතැන්වූ 250,000 ට ආධාර එකතුකිරීමේ උන්මාදය අමතකව ගියා සේය.
       යුද්ධය සිදුවන අතරතුරේදී කොටි පාලන ප‍්‍රදේශයේ සිට 35,000 ක් ජනතාව හමුදා පාලන ප‍්‍රදේශයට පැමිණ සිටි අවස්ථාවේ ප‍්‍රකාශයක් කරමින් තවදුරටත් බලා නොඉඳ අවසන් ප‍්‍රහාරය එල්ල කර භූමිය අත්කරගන්නා ලෙසත් එහිදී යම් ජීවිත වන්දියක් ගෙවීමට සිදුවන්නේ නම් එය ගෙවා සටන නිමකරන ලෙසත් පැවසූ විමල් වීරවංශ (නමුත් රජය එසේ පහර නොදුන් අතර ඒ හේතුවෙන් 215,000 ක් දිවි බේරුනි) සෑම විටම ජනාධිපතිවරයා අසලින්ම සිටිනු දැකිය හැකිවිය.
         මේ මොහොතේ අවිධිමත් ලෙස මසිතට ගලා එන සිතුවිලිය. මේවා ලියූ පමණින් වියවුල නොවිසඳෙයි (ලීවීම තුලම යම් ආඛ්‍යානයක් නිර්මාණය වෙමින් පවතිනු පෙනෙයි.) දැන් කළ යුත්තේ ලිවීම පරිපූර්නත්වයට පත්කිරීම/ වියවුල විසඳීම/ අර්ථය සීමා කිරීම යි.
          මා ඉපදුනු දිනයේ සිට අද දක්වාම මේ රටේ යුද්ධයක් පැවතුනි. ප‍්‍රභාකරන් නම් මිනිසෙක් මේ රටේ කොටසක වෙනම දෙමළ රාජ්‍යයක් පිහිටුවීම සඳහා සටන් කළේය. මරාගෙන මැරෙන බෝම්බ, ගම්පිටින් මිනිසුන් ඝාතනය කිරීම්, ආර්ථික මර්මස්ථානයන්ට එල්ලවූ මාරාන්තික ප‍්‍රහාරයන් ඇතුළු අතිශය අමානුෂික ප‍්‍රහාරයන් රැුසක් මැද අපි ජීවත්වීමු. ඔහුගේ බල ප‍්‍රදේශය අල්ලා ගැනීමට විවිධ අවස්ථාවල සිදුකළ මෙහෙයුම්, ඉන්දු ලංකා ගිවිසුම්, ඔහුගේ ම්ලේච්ඡු ප‍්‍රහාරයන්ට පිලිතුරු ලෙස දෙමළ ගම්මානවලට පහරදී දෙමළ ජාතිකයන් ඝාතනය කිරීම්, සාකච්ඡුා, සටන් විරාම ගිවිසුම් සමඟ මේ කාලය ගෙවීගියේය. අපගේ ජීවිතයේ සෑම මොහොකටම සෑම නිමේෂයකටම මේ මිනිසා හා ඔහුගේ ව්‍යාපාරය බලපැම් සහගත විය (ඊළග මෙහොතේ පුපරන බෝම්බයකින් මා මිය යා හැකිව තිබිණ*. ප‍්‍රභාකරන් හුදෙක් අපගේ ප‍්‍රතිවාදියා පමණක් නොව අපගේ පැවැත්මේ, අපගේ සුඛ විහරණයේ, සාමකාමී හිඳීමේ, අපගේ සතුටේ ප‍්‍රතිපක්‍ෂය විය. අපගේ සතුට, දුක, ශෝකය, උන්මාදය, චිත්තපී‍්‍රතියද පැවතුනේ ඔහු සමඟිනි (මා මිතුරකුට අනුව ”අපිට රිදව රිදව අපිත් එක්ක අවුරුදු 30 ක් හිටපු මිනිහ”*. ආදරය/ වෛරය, හොඳ/ නරක, කලූ/ සුදු ආදී සියලූ ප‍්‍රතිපක්‍ෂයන්හි එකකට අනෙක නොමැතිව පැවතිය නොහැකිවාක් මෙන් අපගේ සාමාන්‍ය ජීවිතය සමඟ ප‍්‍රභාකරන් අවියෝජනීයව බැඳී සිටියේය. අපි ඔහුට අතිශයින් බිය විමු. ඔහුගේ ලේ පිපාසය  ඕනෑම මොහොතක මා ඇතුලූ මා ආදරය කරන කවුරුන් හෝ බිලිගත හැකිවිය.
         මේසාර්ට් ගේ ජිවිත කථාව ඇසුරින් නිපදවූ ඇමඩියුස් නම් චිත‍්‍රපටය මාගේ සිහියට නැගේ. මෝසාර්ට්ගේ දක්‍ෂතාවයට ඊර්ෂ්‍යා කරන නමුත් මෝසාර්ට්ට පමණක් දෙවන වන දක්‍ෂ සංගීතඥයකු වූ සැලියාරි නැමැත්තා මෝසාර්ටව විනාශ කිරීමට, පැරදවීමට, ඔහුගේ නිර්මාණ සොරාගැනීමට සිය ජීවිතයම කැප කරයි. නමුත් මෝසාර්ට් මියගිය පසු සැලියාරිට ජීවත්වීමට හේතුවක් නැතිවේ. මෝසාර්ට් නැතිවුවත් ලෝකය පවතී. ඔහු නැතැයි කියා කිසිවක් වෙනස් නොවේ. නමුත් මෝසාර්ට් නැතිව සැලියාරිට ජීවත්විය නොහැක. ඔහු ආත්මයේ මහා හුදෙකලාවකින් පීඩා විඳී. අවසානයේ ඔහු සියදිවි නසාගනී. සැබවින්ම මෝසාර්ට්ට වැඩියෙන්ම ආදරයකොට ඇත්තේ ඔහුට වෛර කළ සැලියාරිය.
          ශිශිරයේ මීදුම් වළාවන් අතරින් මතුවී එන මාගේ වීරයා හීත්ක්ලිෆ් මෙහිදී අමතක කළ නොහැක. ඔහු සිය ආදරය තමන්ගෙන් උදුරා ගත්තවුන්ගෙන් පළිගැනීමට සිය ජීවිතයම කැප කළේය. ඒ සියලූ උතත්සාහයන් සාර්ථක කරගත් පසු ඔහු මුහුණ දුන්නේ ආත්මය පහුරුගාන මහා හුදෙකලාවකටය. සියදිවි නසාගැනීම හැරෙන්නට වෙනත් විකල්පයක් ඔහුට නොවුනි. ඔහුට ඔහුගේ වෛරයෙන් තොරව පැවත්මක් නොවුනි. ඔහු මියයාමට සැලැස්වූ විනාශ කළ පිරිසට ඔහු වඩාත් ආදරයකොට තිබිණි. ආදරය/ වෛරය වෙන්කළ නොහැකි ද්වෛතයකි.
           දැන් අපට අපගේ වෛරය අවසන්ව ඇත. ප‍්‍රභාකරන් අවසන්ය. මේ රතික්‍ද්ක්‍දා හෙඬ්, අසීමිත පී‍්‍රතියේ, නිමක් නැති නිදහසේ තේරුම කුමක්ද ? දැන් අපිට, අපගේ කිසිදු කි‍්‍රයාකාරකමකට බාධාවක් නැත. මෙතෙක් ඔබ හා මා හමුවුයේ ත‍්‍රස්තවාදයට බියපත්වූ සමාජයක ප‍්‍රභාකරන් නම් අතුරු මුහුණත තුලිනි. දැන් අතුරු මුහුණත අවසන්ය. ඔබට ඍජුවම මා දැකිය හැක. අපගේ නම්හිම් නැති සංතෘෂ්ඨිය කෙළවර අපි අපගේ පැවැත්මේ තර්ජනයකට මහුණදී ඇතිතෙමු. දැන් බාධාවකින් තොරව නග්න ලෙස මා හමුවන ඔබට මුණගැසෙන්නේ කුමක්ද ? සියලූ ප‍්‍රබන්ධයන් අවසන්ව ගිය තැන ඔබ දකින්නේ මගේ හොඳකම්, බැරිකම්, දුෂ්ඨකම්, කුහකකම්, ම්ලේච්ඡුකම් සියල්ල නිරාවරණයව ඇති අයුරුය. මේවා වසා තැබූ අතුරු මුහුණත අවසන්ය. ඔබගේ ඒ සියල්ලද මට නිරාවරණය වෙයි. මෙවැනි සමාජයක් මහා බිහිසුනු අන්තරායකට මුහුණ දෙයි. මේ ක්ෂතිමය මොහොතේ උදාවද මේ අපි සමරන්නේ.. සිංහල සමාජය වඩාත් වෛරකළ/ ආදරය කළ මිනිසාගේ මරණය ගැන මීට වඩා බැ?රුම්ව සිතිය යුතු නොවේද ?

ප‍්‍රභාකරන්ගේ මරණය සෞන්දර්යයක් වන්නේ ඇයි ?
              ප‍්‍රභාකරන්ගේ මරණය මා නියෝජනය කරන පැරණි පන්නයේ ලෝකයේ එවැනි සිදුවීම්වල අවසානයයි. ජාතික රාජ්‍යය දියවී යමින් පවතින ලෝකයක ඔහු එය විශ්වාස කළේය. එවැන්නක් නිර්මාණය කිරීම සඳහා ඔහු රාජ්‍යයක් සමග සටන් කළේය. පැහැදිලිවම ඔහුගේ මතවාදය ජාතිවාදී විය. දෙමළ ජාතියේ ඵෙතිහාසික වේදනාවන්ට, සන්තාපයන්ට හා අසාධාරණයන්ට එකම විසඳුම ශක්තිමත් දෙමළ ඊළාම් රාජ්‍යයක් නිර්මාණය කිරීම යැයි විශ්වාස කළ ඔහු ආරම්භයේ සිටම මියයන මොහොත දක්වාම ඒ වෙනුවෙන් සටන් කළේය. යම්හෙයකින් ඔහු ඊළම දිනා ගත්තේ නම්  ඕනෑම ජාතිවාදියකුගේ මඟ යමින් අතිශය ඒකාධිපති, මර්ධනකාරී, ප‍්‍රජාපීඩක රාජ්‍ය තන්ත‍්‍රයක් නිර්මාණය කරනු ඇත. ඒ කෙසේ වෙතත් ඔහු ඊළමින් මෙපිට කිසිදු විසඳුමක් පිලිගත්තේ නැත. සටන මෙන්ම සාමය හරහාද ඔහුගේ අවසාන අභිප‍්‍රායවූයේ එයයි. මියයන තුරුම වෙනස් නොවූ අධිෂ්ඨානය එයයි. වර්තමාන ලෝකය තුල නොවෙනස් පැවතීම, අධිෂ්ඨානය වැනි වචනවලට අර්ථයක් නොමැත. ඝන වූ සියලූ දේ දියවී යන ලෝකයේ ජාතිය වෙළඳපොළ බවටද, නොවෙනස්වීම වෙනස්වන වෙළඳපොළ තත්වයන්ට අනුව වෙනස්වීම බවටද පත්වූ ලෝකයක ඔහු පැරණි පන්නයේ මිනිසෙකි. ඊළමෙන් මෙපිට කිසිවකට එකඟ නොවන්නේ නම් දිය හැකිව තිබූ එකම පිලිතුර ශී‍්‍ර ලංකා රජය විසින් ඔහුට ලබාදෙන ලදී. සිදුවිය හැකිව තිබුණේ දෙකෙන් එකක් පමණි. එක්කෝ ඊළම දිය යුතුය. නැතිනම් ඔහු මිය යා යුතුය. ඊළම දී රට දෙකඩ කිරීමට අකමැති වූ නිසා ඔහු මරා දැමිය යුතු වූ අතර එය එසේම සිදුවිය. (ඔහුත් සමග ඒ අරමුණ දරමින් මියෙන තුරුම සටන් කළ මේ රටේ පුරවැසි පිරිස එසේ කළේ ඇයි ? ඔවුන් එතරම් ආන්තික ආස්ථානයක් කරා ඇදීගියේ ඇයි ? යන්න කිසිදා මඟහැර යා නොහැකි ගැටලූවකි. යුධ ජයග‍්‍රහණ සැමරීම තුල ලංකාවේ කිසිදු ජනමාධ්‍යයක මුලතිවු සිට පැමිණි 250,000 ක ජනතාව එම සිදුවීමට මුහුණදුන් ආකාරය දැක්වෙන එකදු රූපරාමුවක් හෝ කොටි සංධිානයෙන් කැඞී රජයට එක්ව ඇමතිධූර බාරගත් අයගේ හැර වෙනත් කිසිදු දෙමළ ජාතිකයකුගේ ප‍්‍රතිචාරයක් සඳහන් නොවීමද සැලකිය යුතුය)
කෙසේ නමුත් පැරණි පන්නයේ රාජ්‍ය සිතීමේ අවසානයක් මේ සමඟ සනිටුහන් වෙයි. රජය ශී‍්‍ර ලංකා රාජ්‍ය පිලිබඳ මතවාදය සිය ප‍්‍රචාරණ යාන්ත‍්‍රණය තුල යුධඋපක‍්‍රමයක් ලෙස (යුද්ධයක් කිරීමට ජනතාවගේ සහාය ලබාගැනීමට එය කළ යුතු වන අතර ඇමරිකාව ඇතුලූ සෑම රටක්ම එය සිදු කරයි) ඉදිරියට ගෙන ආ නමුත් දකුණ වෙළඳපොළ යාන්ත‍්‍රණයට හසුවූයේ මීට බොහෝ පෙරය. දකුණේදී ජාතිය වෙළඳපොළ අළෙවිකරණ උපක‍්‍රමයක් පමණකි. යම්හෙයකින් උතුරටද මේ වෙළඳපොළ යාන්ත‍්‍රණය පැතිරගියේ නම් ප‍්‍රභාකරන් සමඟ මිය යාමට එකදු මිනිසකු හෝ ඉතිරි නොවනු ඇති අතර ප‍්‍රභාකරන්ද එය මනාව වටහාගෙන වෙළඳපොළ බලපෑමෙන් සිය බලප‍්‍රදේශයේ ජනතාව දැඩිව ආරක්‍ෂා කරගත්තේය. මේ බව රජයද මනාව වටහාගෙන ඇති බව පෙනී යන්නේ මෑතකදී මාතලේ කොටස් වෙළඳපොළ ශාඛාව විවෘත කරමින් බැසිල් රාජපක්‍ෂ මහතා සිදකළ ප‍්‍රකාශයකිනි. ”අපි යුද්ධයෙන් කළේ වෙන මුකුත් නොවෙයි, මෙතෙක්කල් උතුරේ විශාල ප‍්‍රදේශයක් සමස්ථ ආර්ථික යාන්ත‍්‍රණයෙන් බැහැරව පැවතුනා, අපි කළේ ඒ ප‍්‍රදේශය මේ ආර්ථික යාන්ත‍්‍රණයට ඇතුල් කරන එකයි”, ඔහු කියා සිටියේය. මේ අනුව සිංහල ජාතිවාදීන් කෙතරමි කෑමොර ගැසුවද (1976 දී යාපනය විශ්ව විiාලයට වෛi පීඨයක් ලබාදීමට පවා මොවුහු විරුද්ධ වූහ) නුදුරේදීම උතුරේ ප‍්‍රදේශ සීඝ‍්‍ර වෙළඳපොළකරණයකට ලක්වනු ඇති අතර ඒ සඳහා පාලම්, මහාමාර්ග, විදුලිය ඇතුලූ බොහොමයක් යටිතල පහසුකම් සැලසෙනු ඇත. නැවත දෙමළ ජාතිකවාදය ඉස්මතුවීම වැලකී එය වෙළඳපොළ යාන්ත‍්‍රණය තුල දියකර දැමෙනු අතර සිංහල ජාතිවාදීන්ගේ මතය ජයග‍්‍රහණය කළහොත් පමණක් දෙමළ සටන නැවත පණ ලබනු ඇත. කෙසේ නමුත් පැරණි පන්නයේ සිතීමක් තුල දෙමළ ජාතියේ ඵෙතිහාසික අසාධාරණයට පිලිතුරක් ලබාගත හැකිව තිබූ අවසන් අවස්ථාවද මේ අනුව අහිමිවී යනු ඇති අතර තවදුරටත් එවැනි ඉල්ලීම් කිරීමට ජාතිකත්වය මත පදනම්වූ ඝනීභූත දෙමළ සිතීම අවසන් වනු ඇත. මේ අනුව ක්‍භභ නාලිකවේ පෙන්වූ තල්ගස් අතරින් කාලතුවක්කු බැරලය පහත්වන රූප රාමුව අතිශය සංකේතාත්මතය.
              කෙසේ නමුත් මේ අවසන් සටන සෞන්දර්යාත්මක යැයි මා සිතන්නේ එම පැරණි සිතීමේ අවසන් සටන මෙය වූ බැවිනි. තවදුරටත් ධීරත්වයට, නොවෙනස්වීමට අනාගතයක් නැත. නමුත් අපේ අතීතකාමයන් අපව තවදුරටත් ඊට ආශක්ත කරයි. ප‍්‍රභාකරන් ඇතුලූ පිරිස එහි අවසන් විශිෂ්ඨ නිර්මාණය සම්පූර්ණ කළහ.

හෘද සාක්‍ෂිය
            මේ දිනවල බෙහෙවින්ම කියැවෙන දුටු ගැමුණු රජුගේ පුරාවෘතයේ එක් වැදගත් සිදුවීමක් කෙරෙහි අවධානය යොමු කරමි. එළාර ඝාතනය කොට අනුරාධපුරය විජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව දුටුගැමුණු දුකට පත්වූ බවත් තමන් විසින් ඝාතනය කළ සතුරන් පිලිබඳව ඔහු මහත් වේදනාවට පත්වූ බවත් පුරාවෘතවල කියැවෙයි. ගණනාථ ඔබේසේකර පවසන ආකාරයට මෙම පුරාවෘතයන් තුල මෙම සිද්ධිය නිර්මාණය වීමෙන් නිරූපනය වන්නේ හෘදසාක්‍ෂිය සම්බන්ධයෙන් ගැමි බෞද්ධයා තුල වූ දැක්මයි. එය පැරණි ගැමි බදුදහමේ සාරය ඉවත්කෙරුනු නූතන විෂයමාලාගත නාගරික බුද්ධාගම තුල අන්තර්ගත නොවන්නකි. වර්තමාන යුධ ජයග‍්‍රහණ සැමරුමේදී නෑසී මියගොස් තිබුණේ මෙම හෘදසාක්‍ෂියයි. ‘මොනව වුනත් මගෙ පපුව හෝස් ගාල ගියා’ යනුවෙන් කී මා මිත‍්‍රයා නියෝජනය කළේ හෘදසාක්‍ෂිය දරාගත් ඒ අතිශය සුලූ පිරිසයි.  ඕනෑම සමාජයකට හෘදසාක්‍ෂිය අතිශයින්ම වැදගත්ය. හෘදසාක්‍ෂියක් නැති මිනිසකුට කළ නොහැක්කේ කුමක්ද ? කෙනෙකුගේ හෘද සාක්‍ෂිය විසින් අප තුල නිර්මාණය කරන අතිශය සංවේදී චිත්තාවේගයන් හා මානසික ගැටුම නොමැති සමාජයක බොහෝ දේ ඉතා සරළ ලෙස සිදුවන අතර බොහෝ දේට ඉතා සරළ අරුත් ගැන්වීම් හා විසඳුම්ද පවතී (අද රට ජාතිය පිලිබඳ කථාබස් කරන ජාතිවාදී බහුතරයක් තුල නැත්තේද මේ හෘද සාක්‍ෂියයි).
             හෘද සාක්‍ෂියක් නොමැති අතිශය නග්න වෙළඳපොළ සබඳතා, කුහකත්වය, ආත්මාර්ථය රජකරන ත‍්‍රස්තවාදයෙන් මිදුනු සුරක්‍ෂිත සමාජයක් අපට උරුමව ඇති අතර ඔබත්් මමත් හෙට මුණගැසීමට නියමිත එම භූමියෙහිය. හෘද සාක්‍ෂිය විශ්වාස කරන සුලූතරයක් වූ මිනිසුන් සෑම අයෙකුම මහා පරිමාණයේ ප‍්‍රශ්ණ ගැන කථාකරනු වෙනුවට තනි මිනිසාගේ හෘද සාක්‍ෂිය පිලිබඳව අවධානය යොමුකළ යුතුයැයි මට සිතේ. දකුණේ ජනතාව අන් කවරදාකටත් වඩා පසුගිය කාළය තුල රාජ්‍යය සමඟ එක පෙළට සිටගන්නා ලදී. නමුත් සිදුවිය හැකි නරක දෙය නම් තමන් රාජ්‍ය නොවන බව ජනතාව විසින් අමතක කරදැමීමට ඇති ඉඩ ප‍්‍රස්ථාවයි. තමන් රාජ්‍ය නොවන බවත් තමන් හෘදසාක්‍ෂියක් දරාගත් තනි මිනිසෙක් බවත් සෑම අයකුම පසක් කරගත යුතුය. එනයින්ම රාජ්‍ය යාන්ත‍්‍රනයට වඩා තනි මිනිසාගේ හෘදසාක්‍ෂිය හා අභිමානය ගැන ජනතාව වදවිය යුතුය. හෙටදවසේ තම හෘදසාක්‍ෂිය ගැන වදවන මිනිසුන් පොඩි මිනිසාගේ අභිමානය ගැන වදවීම ඉතාමත් වැදගත් වන්නේ එය ඔබේත් මගේ මනුෂ්‍යත්වයට තීරණාත්මක වන බැවිනි.

වේලාව රාතී‍්‍ර 1. 35.
දැන් මට සැනසීමෙන් (?) නිදාගත හැක.


ප.ලි. 2009.05.20
මාවිල් ආරු සොරොව්ව මුදාගැනීමේ සිට මේ දක්වා මියගිය රජයේ හමුදා භටයින් ගණන 6,931 ක් බවත් තුවාල ලැබූ පිරිස විසිහයදහස් ගණනක් බවත් ආබාධිත වූ පිරිස දෙදහස් හයසිය ගණනක් බවත් ආරක්‍ෂක ලේකම්වරයා විසින් ප‍්‍රකාශ කරන ලදී.
ඔහුට අනුව යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයින් සංඛ්‍යාව 21, 000 කට ආසන්නය. එක්සත් ජාතීන්ගේ වාර්තාවන්ට අනුව පසුගිය වසර 2 තුල යුද්ධයෙන් මියගිය සාමාන්‍ය ජනතාව 8,000 කි. (සුනාමියෙන් ලංකාවේ 36, 000 ක් පමණ මියගිය බව විශ්වාස කෙරේ)

ප.ලි. 2009.05.21
යුධ ජයග‍්‍රහණ සැමරීමේ වැඩසටහන් හේතුවෙන් පසුගිය දිනවල විකාශය නොවූ මුතු කිරිල්ලී, පබා හා ඉතින් ඊට පස්සේ නාට්‍ය අද සිට යළි විකාශය ඇරඹින.

ප.ලි. 2009.05.22
‘උගතුන් හා දේශපාලඥයින් එකතුවී අලූත් මිත්‍යා සාධාරණීකරණය කිරීම බුද්ධ ධර්මය විකෘති කිරීමකි. එසේ සාධාරණීකරණය කරන්නෝ සිය බෞද්ධ උරුමයට පිටුපා ඇති අතර දුට්ඨගාමිණී අභයගේ චිත්තාග්නිය තුලින් මතුවන මහා සදාචාරාත්මක ප‍්‍රශ්ණය හා එහි ඇති වැදගත්කම ඔවුනට වැටහී නැත.’
‘සියුම් මනස් ඇත්තවුන් ඇසිය යුත්තේ සරළ ගැටුම් තුල අප සිතුම් සිරකරන, තරණය කළ නොහැකි ආගාධ වලින් අප වෙන්කරන ලෝක ස්වභාවය කුමක්දැයි යන්නය. හෘදසාක්‍ෂිය හා ලෝක ස්වභාවය අතර ඇති ගැටුම විසඳීම සුළුකොට තැකිය හැකි කර්තව්‍යයක් නොවේ. අතපය හකුලූවාගෙන යහනෙහි වකුටුවී ”දකුණින් ගොලූ මුහුදය, උතුරින් හැඩි දෙමළුය, මෙම කෙසේ අත් පා දිගහරිම්දැයි” ඇසූ බොළඳ කොලූ ගාමිණී අනුකරණය කිරීම, සතුරන් තුල යම් යහපත් ස්වභාවයක් දුටු වැඩිහිටි දුට්ඨගාමිණී අනුකරණය කිරීමට වඩා පහසුය.

‘දුටුගැමුණුගේ හෘද සාක්‍ෂිය’
- මහාචාර්ය ගණනාථ ඔබේසේකර

දැනුවත් වෙනු පිණිසය...

අප්‍රේල් මස 26 වන දින මිඩ්ල්සෙක්ස් විශ්ව විද්‍යාලයීය පාලනාධිකාරය විසින් එහි දර්ශන විද්‍යා අධ්‍යනාංශයේ සියල්‍ර පාඨමාලාවන් නවතාදැමීමට තීරණය කරන ලදී. පර්යේෂණ සම්බන්ධයෙන් සමස්ථ විශ්ව විද්‍යාලයේම ඉහලම ප්‍රමිතිය පවත්වාගෙන සිටින එමෙන්ම දර්ශන විෂය සම්බන්ධයෙන් ලෝකයේ පවත්නා හො ම අධ්‍යාපන ආයතනයක් ලෙසින් පිලිගැනෙන මෙය වසා දැමීමට ගත් තීරණය එම විෂය ක්ෂේත්‍රය පිලිබ‍ද උනන්දුවක් දක්වන ලොවපුරා විශාල පිරිසක් අතර ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව ඇත. පාලනාධිකාරයේ එම තීරණයට විරෝධය දක්වන ශිෂ්‍යයන්ට සහයෝගය දීමට මානව ශාස්ත්‍ර විෂය පිලිබද ලොව පුරා වියතුන් විශාල පිරිසක් ඉදිරිපත්ව සිටිති. මේ වනවිට පාලනාධිකාරයේ තීරණයට එරෙහිව විරා්ධය දක්වන ශිෂ්‍යයින් විසින් එකී විශ්ව විද්‍යාලයීය පරිපාලන ගොඩනැගිල්ල සිය ග්‍රහනයට ගෙන සිටින අතර ඔවුහු පාලනාධිකාරයේ තීරණය වෙනස් කරන ලෙසට බලපෑම් කරමින් සිටිති. ලෝකය පුරා සියලුම විශ්ව විද්‍යාලයන්හි පාහේ මානව ශාස්ත්‍ර විෂයන්ට අඩු වැදගත්කමක් ලබාදෙමින් එකී පාඨමාලාවන් කප්පාදුවට ලක්වෙමින් පවතී. ලංකාවේ විශ්ව විද්‍යාලයන්හිද මෙම තත්වයේ වෙනසක් නොමැත. මෙරට මානව ශාස්ත්‍ර අධ්‍යනාශයන්ට එල්ලවන ප්‍රධාන අභියෝගයක්ව ඇත්තේ එම අධ්‍යනාංශයන් සතු සම්පත් යොදාගනිමින් වැඩි අදායම් ඉපිදවියහැකි පාඨමාලාවන් ආරම්භ කරන ලෙසට වන බලපැම්ය. මේ සන්දර්භය තුල මිඩ්ල්සෙක්ස් විශ්ව විද්‍යාලයීය පාලනාධිකාරයේ තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා සිටිමින් සකස්කොට ඇති මාර්ගගත පෙත්සමට (online petition) මේ වන විට ලොව පුරා විශාල පිරිසක් අත්සන් තබා ඇත. පහත ලින්ක් එක මගින් ඔබටද එකී පෙත්සමට අත්සන් තබන ලෙස අපි ආරාධනා කොට සිටිමු.

  • http://www.gopetition.com/petitions/save-middlesex-philosophy.html
වැඩිදුර තොරතුරැ සදහා පහත ලින්ක් භාවිතා කරන්න.
http://savemdxphil.wordpress.com/
http://www.facebook.com/group.php?gid=119102561449990

පහතින් පළවන්නේ ලොවපුරා පිලිගත් ශාසත්‍රඥයින් විශාල පිරිසකගේ අත්සනින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ ලිපියකි.

    Philosophical view: Middlesex, think again
    6 May 2010

    We the undersigned deplore Middlesex University's recent decision to close its philosophy programmes, including its prestigious and successful MAs. This is a matter of national and indeed international concern. Not only does it contradict Middlesex's stated commitment to promote "research excellence", it also represents a startling stage in the impoverishment of philosophy provision in the UK.
    We have participated in events organised by the Philosophy Group at Middlesex and can testify to its unique strengths and its significant and distinctive contribution to philosophy in the UK. Its set of MA programmes is currently the largest in the country.
    Philosophy is the highest-rated research subject at Middlesex. In the research assessment exercise 2008, it was rated first in philosophy among post-1992 universities, with 65 per cent of its research judged "world-leading" or "internationally excellent".
    Middlesex is widely recognised as one of the most important centres for the study of modern European philosophy anywhere in the English-speaking world. It has one of only a handful of philosophy departments left in the UK that provides both research-driven and inclusive postgraduate teaching and supervision aimed at a wide range of students, specialist and non-specialist.
    We call on Middlesex to reverse its damaging and ill-judged decision, and to renew its commitment to widening participation in education and excellence in research.
  • Keith Ansell-Pearson, professor of philosophy, University of Warwick
  • Alain Badiou, emeritus professor of philosophy, École Normale Supérieure, Paris
  • Etienne Balibar, emeritus professor of philosophy, Université de Paris-Nanterre, and distinguished professor of humanities, University of California, Irvine
  • Miguel Beistegui, professor of philosophy, University of Warwick
  • Andrew Benjamin, professor of critical theory and philosophical aesthetics, Monash University, Australia
  • Andrew Bowie, professor of philosophy and German, Royal Holloway, University of London
  • Judith Butler, Maxine Elliot professor of rhetoric and comparative literature, University of California, Berkeley
  • Susan Buck-Morss, Jan Rock Zubrow professor of government, Cornell University, New York
  • Barbara Cassin, directeur de recherches, Centre National de la Recherche Scientifique, Paris
  • Simon Critchley, professor of philosophy and chair of the philosophy department, New School for Social Research, New York
  • Christopher Fynsk, professor of comparative literature and modern thought, and director of the Centre for Modern Thought, University of Aberdeen
  • Simon Glendinning, reader in European philosophy, London School of Economics, and director of the Forum for European Philosophy
  • Boris Groys, professor of Slavic and Russian studies, New York University
  • Michael Hardt, professor of literature, Duke University, NC
  • Harry Harootunian, emeritus professor of history, Chicago and New York universities
  • Joanna Hodge, professor of philosophy, Manchester Metropolitan University
  • Claude Imbert, emeritus professor of philosophy, École Normale Supérieure, Paris
  • Mandy Merck, professor of media arts, Royal Holloway, University of London
  • Dermot Moran, professor of philosophy, University College Dublin
  • Michael Moriarty FBA, centenary professor of French literature and thought, Queen Mary, University of London
  • Antonio Negri, philosopher and political scientist
  • Jacques Rancière, emeritus professor of philosophy, Université de Paris VIII
  • Kristin Ross, professor of comparative literature, New York University
  • Lynne Segal, anniversary professor, psychosocial studies, Birkbeck, University of London
  • Peter Sloterdijk, rektor der Staatlichen Hochschule für Gestaltung, Karlsruhe
  • Gayatri Spivak, university professor in the humanities, Columbia University, New York
  • Isabelle Stengers, professor of philosophy, Université Libre de Bruxelles
  • Peter Weibel, chairman and CEO, ZKM/Center for Art and Media, Karlsruhe
  • James Williams, professor of European philosophy, University of Dundee
  • Slavoj Zizek, co-director of the International Centre for Humanities, School of Law, Birkbeck, University of London
 මිඩ්ල්සෙක්ස් විශ්ව විද්‍යාලයීය පරිපාලන ගොඩනැගිල්ලේ ශිෂ්‍යයින් රැදී සිටින අයුරැ දැක්වෙන ඡායාරෑප කිහිපයක් පහතින් පළවේ.
 

මං මුලා වී ආ තිලකසේන සහ හසරක් අසමින් ගිය සුචරිත ගම්ලත් හෙවත් “තමුසෙ පලයං ඕයි ” උභතෝකෝටිකය.


දිනය - 2010 අප්‍රේල් 27
ස්ථානය - මරදාන ලංකා අක්ෂය
වෙලාව - සවස 6.00
මාතෘකාව - සිංහල ලිඛිත ව්‍යවහාරයට ව්‍යාකරණමය වෙනසක් අවශ්‍යද?
දේශකයා - අජිත් තිලකසේන

දශක ගණනාවක් තිස්සේ සිංහල භාෂාවේ ව්‍යාකරණමය වෙනසක් පිළිබඳව හුදෙකලා අරගලයක නිරත වන අජිත් තිලකසේනව දැකබලා ගැනීමට පිරිස එක් රොක් වූයේ මින් පෙර සජීවී ව ඔහුව දැක නැති නිසා ත් අසම්ප්‍රදායික ලේඛන රීතියක් අනුගමනය කරන්නෙකු ත් නිසාය. ‘වෙන සැප කුමට ඔබ දකිනා එම පමණ’ ලෙසින් මා ද ඊට එක් වූයේ කාලයක් තිස්සේ මෙන් ම අදටත් ඔහුගේ ලියවිලි තුළ සැරිසරන්නෙක් නිසා ය.

අනෙකාගේ ලේඛන රීතියෙන් හාත් පසින්ම පරිබාහිර වූ ශෛලියක් වැළඳ ගත් ඔහුගේ ආඛ්‍යාන තුළ තිබූ ආකර්ෂණීයමය තත්ත්වය හේතුවෙන් ඔහු කෙරෙහි සැලකිය යුතු පාඨක ප්‍රජාවක් නිර්මාණය වූවා යැයි අපි සිතමු.

ඔහු 1960 සිට 2004 දක්වා කෙටි කතා ග්‍රන්ථ නවයක් ද 1978 සිට 2008 දක්වා කවි සහ සංයුක්ත කවි වශයෙන් කව්‍ය ග්‍රන්ථ ත්‍රිත්වයක් ද නාටය පිටපතක් ද තිර නාටකයක් ද ප්‍රබන්ධ සමහරක් ද සිංහල සාහිත්‍ය වපසරියේ ස්ථානගත කරමින් ලේඛනයේ වෙනස් වූ මගක ඇදෙන්නෙක් ලෙසින් ප්‍රසිද්ධ විය. එසේ පොදු කුලකයන්ගෙන් වියුක්තව හැදී වැඩුණු ලේඛන ආශ්‍රයක් සමග සාකච්ඡා කිරීමට අපි මහත් උද්‍යෝගයෙන් පැමිණියෙමු. මේ අතර සංවාදය තුළ මහාචාර්ය සුචරිත ගම්ලත් ද අසුන්ගෙන සිටීම කාගේත් මන දොළ පුරවන්නට වූයේ භාෂාව සහ ව්‍යාකරණය පිළිබඳව උද්වේගකර කතා බහක් ආරම්භ වීමේ ආශ්චර්යවත් මොහොත දැන් දැන් උදා වේ යැයි සිතූ නිසාය. නමුත් තත්ත්වය එසේ නොවීය. දෙදෙනා වෙනස් සම්ප්‍රදායන් ගුරු කුලයන් දෙකක් නියෝජනය කළ ද ඒ තුළ හීන් නූල් ඒකමිතියක් ගොඩනගා ගත් හ. මෙසේ කොළ වසා ගැසීමේ සාකච්ඡාමය මොහොත උදා විය.

අජිත් තිලකසේන මහතා ස්වකීය ලේඛන රීතියේ ආගමනය සහ එයට බල පෑ සංසිද්ධීන් වර්ෂ වලින් ගෙනහැර දැක්වී ය. එසේ කරුණු රාශියක් ඔස්සේ ඔහු විසින් නිර්මිත ලේඛනයකට හුරු වූ බව කියා පෑවේ ය. තිලකසේන මහතා ගේ සාකච්ඡාවේ දී ඔහු දැඩි ලෙස ප්‍රකාශ කරනුයේ කට වහරින් ලේඛනය සිදු කළ යුතු බව යි. කතා කරන භාෂාවෙන් ලිවීමේ නිරත වීමක් පිළිබඳව අදහස් දැක්වීමේ දී ඉදිරිපස අසුන් ගෙන සිටි සුචරිත ගම්ලත් මහතා නිහඬව අසා සිටියේ ය. කවුරුත් තිලකසේනගේ කට වහරින් කළ යුතු ලේඛනය පිළිබඳව අසා සිටිද්දී නැවත ත් තිලකසේන කට වහරේ ව්‍යාකරණයක් ඇති අතර එය රකිමු යැයි ද ප්‍රකාශ කළේ ගම්ලත් ගේ කනෙන් රිංගා යාමට යැයි මට සිතේ. ගම්ලත් ද එය හිස වනා අනුමත කළේ ඇයි දැයි නම් මා නොදනී.

අවංකවම කට වහරට ව්‍යාකරණයක් තිබේ ද? තිබේ නම් එය කුමක් ද? තිලකසේන පවසන ආකාරයේ කට වහරේ ව්‍යාකරණය කුමක් ද? ගම්ලත් හිස වනා අනුමත කළ කට වහරේ ව්‍යාකරණය කුමක් ද? මාගේ පිළිතුර නම් කට වහරට ව්‍යාකරණයක් නොමැත යන්න යි. ව්‍යාකරණයක් ඇත්නම් එය කට වහර වන්නේ කෙසේ ද? තිලකසේන ගේ ඇන ගැනීම සහ ගම්ලත් ගේ බබා හුකුං නිහඬභාවය අපි තව දුරටත් සාකච්ඡා කරමු. කට වහරට ව්‍යාකරණයක් නැත. ඇත්තේ යුක්තාර්ථයක් පමණි. එය ගම්ලත් ද නොදන්නවා නොවේ ය.

උදා - යුක්තාර්ථවත් වාක්‍ය සමහරක්

1. ගහ කොළ වැල වවන්න.
2. ගල් වැලි ගඩොල් බාන්න.
3. හිරු සඳු තරු බලන්න.
4. මේස පුටු බංකු ගෙනියන්න.

මේ වාක්‍ය වල ඇති වචන එකිනෙක හා ගැලපෙන අර්ථයකින් යුක්ත ය. එකම වාක්‍ය තුළ විසංවාදී අර්ථ සහිත වචන නොමැත. එනම් ගහ කොළ පුටු වවන්න යනුවෙන් පවසා නැත. හිරු සඳු ගඩොල් බාන්න යනුවෙන් පවසා නැත. ඉඳින් දැන් කට වහරේ පවතින යුක්තාර්ථය පැහැදිලි වනවා ඇත. නමුත් තිලකසේන පවසා සිටියේ කුමක්දෝ කට වහරේ ව්‍යාකරණයක් පිළිබඳව ය. ව්‍යාකරණයක් තිබේ නම් එය කට වහරක් වන්නේ කෙසේද යන්න මම නැවතත් ප්‍රශ්න කරමි.

එසේ තිලකසේන ගේ අදහස් ඉදිරිපත් කිරීම අවසන් වි සංවාදය ඇරඹිණි. හෂිත සහෝදරයා ගම්ලත්ගෙන් ඇසූ පැනයෙන් සංවාදය උණුසුම් වේ යැයි කවුරුත් සිතුවත් එය එසේ නොවීය. හෂිත ගේ ප්‍රශ්නය වූයේ ‘හඩු සිංහල ලියනවා යැයි ඔබ බැණ අඬ ගසද්දී මෙසේ කට වහරින් ලේඛනය පවත්වා ගෙන යාම ගැන ඔබ එකඟ වනවා ද?’ යන්න යි. ගම්ලත් ගේ පිළිතුර වූයේ දෙකටම නැති මගුල් ලියනවාට වඩා කුමක් හෝ එක දෙයකින් ලිවීම අනුමත කරන බවකි. මා එයට එකඟය. නමුත් ගම්ලත් ගේ සැබෑ පිළිතුර එය නොවන බව දනිමි. ඔහු‍‍‍ගේ කෘති, ලියවිලි සහ දෙසුම් ඇසුරු කරමින් ලද දැනුමින් අප එය දනී. ඒ මොහොතේදී සිදු වූ‍යේ වෙන කිසිවක් නොව ගම්ලත් තිලක‍‍සේන ගේ පිට කැසීමත් තිලකසේන ගම්ලත් ගේ පිට කැසීමත්ය. සංවාදයක් ලෙස මතු විය යුතු හෂිත ගේ පැනය ලත් තැනම ලොප් කර දැමුණි. ඉන් පසුව මේ තරම් සළු පිළි අන්දවන ගම්ලත් ගෙන් අපේ අධෝ මාර්ග බේරා ගැනීමට සිදු විය.

එසේම ගම්ලත් ගේ විසංවාදී පිළිතුරු ඇරඹුණේ හෂිත සහෝදරයාගේ දෙවන ප්‍රශ්නයේ දී ය. එනම් ‘භාෂාව සන්නිවේදන මෙවලමක් ලෙස ගෙන ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස අතහැර අදහස් හුවමාරු කිරීමට පමණක් ලඝු කරමු ද?’ යන්න යි. එයට ගම්ලත් ගේ පිළිතුර වූයේ එය භාෂාව පිළිබඳව නොදැනුවත් භාවයෙන් අසන ලද්දක් බවයි. ගම්ලත් දෙවන ප්‍රශ්නයේ දී ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස ගැන දැඩි මතයක් දරන අතර පළමු ප්‍රශ්නයේ දී එය එසේ නැතැයි යන්න ගම්‍ය වන පිළිතුරක් ලබා දුණි. ගම්ලත් ට තිලකසේන සමග තිබෙන ඇඟෑලුම් කමකට හෝ වෙන මොන යම් හෝ දෙයක් හේතුවෙන් පය බරයාවට තබා පිටිකර බෙහෙත් බඳින තත්ත්වයට හෝ පීරා ඈතින් කෙස් ගෙනත් තට්ටය යන්තමින් වසා ගැනීමට සිදු විය.

මෙම සංවාදය පුරාම වාදයන් ප්‍රතිවාදයන් ගැටී ගොඩනගා ගත හැකි සාර්ථක සහවාදයක ලක්ෂණයක් තියා සෙවණැල්ලක් වත් නොපෙනුණි. අසාර්ථක සංවාදයක් තුළ අජිත් තිලකසේන සහ සුචරිත ගම්ලත් යන දෙදෙනා ගේ හූරු තුඩ සීවල් තැබුවා සේ දෙදෙනා දෙපොලක දෙතැනක කොහේදෝ හාරා ගෙන ගියහ. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වී පොල්ලෙන් ගසා ගන්නට බලා සිටිය වුනට සිදු විය.

තිලකසේන සිංහල භාෂාව සරල සුගම කිරීමේ හුදෙකලා අරගලයක නිරත වුව ද එය තාර්කික ව ඉදිරිපත් කර ස්වකීය මතය කාන්දු කිරිමේ ඇති අපොහොසත්භාවය සංවාදය පුරාම පැවතුණකි. භාෂාවක් පිළිබඳව ඔහු ඉදිරිපත් කරන කරුණු වල අනාගත සත්තාව පිළිබඳවම ඇත්තේ අපැහැදිලි බවකි. ඔහුගේ අක්ෂර සහ පිල්ලම් පිළිබඳව මාගේ ප්‍රශ්න කිරීමේ දී එයට, බාල ගිරි දෝෂය අද නෑ හෙට යනුවෙන් පිළිතුරු ලැබුණි. තවද න, ණ, ල, ළ අක්ෂර යෙදීමේ දී එක අකුරක් පමණක් භාවිතයට ගැනීමේ දී වචනයකට සිදුවන අර්ථ සංහාරය පිළිබඳ ප්‍රශ්නයේ දී එම අකුරු යෙදෙන පරිසරය මත පිහිටා අර්ථය තේරුම් ගනිමු යැයි ප්‍රකාශ කිරීම මට අනුව නම් යුක්ති සහගත නොවන්නකි. මන්ද කවියක දී එය කිසිසේත් ම වලංගු නොවන්න කි. කවියෙකු ට ස්වකිය ප්‍රතිභානය හා මුසුව ගොඩනගන අවස්ථාව මතම වෙනස් අර්ථ මතු කිරීමේ උපකරණමය හැකියාව ඉන් අහිමි වන අතර සහෘදයෙකු ට වුව ද රස විඳීමේ දී බරපතල රස වින්දන බාධා පමුණුවනු ඇත.

උදා -
කල - කාලය
කළ - ක්‍රියාව
මල - පුෂ්පය
මළ - මැරුණු

කවියක මෙසේ සඳහන් වුණි යැයි සිතන්න.
1. ‘ රෑ කළ වැඩ......’
2. ‘ ඉර මළ ට පසු......’

තිලකසේන මහතාගේ උගැන්වීම් ව්‍යාකරණයට අනුව මෙය ලිවිය යුත්තේ මෙසේය.
1. ‘ රෑ කල වැඩ......’
2. ‘ ඉර මල ට පසු.....’

මොහු ගේ ඉගැන්වීම මත මෙහි පරිසරය මතවත් අර්ථය වටහා ගත නොහැක. පළමු වැකියේ රෑ කරනු ලැබූ වැඩ ගැන අදහස් කරයි. එය තිලකසේන න්‍යායේ දී රෑ කාලයේ වැඩ ගැන අදහස් දෙයි. එහිදී කවියා ලියූ දේ වැරදි විදියට අර්ථ නිරූපණය වෙයි. දෙවන වැකියේ දී ඉර මැරණාට පසු යන්න ගම්‍ය වෙයි. නමුත් එයම තිලකසේන න්‍යායට අනුව ලිවිමේ දී ඉර නමැති මල ලෙස හාත් පසින්ම වෙනස් ම වූ අර්ථ සංහාරයක් සිදු වෙයි. එනම් මුල් අර්ථයෙන් පරිබාහිර රූපකාර්ථයක් ගනී. එසේ හෙයින් කවියක දී අකුරු යෙදෙන පරිසරය අනුව වත් නිවැරදි අර්ථය සොයා ගත නොහැකි බව තිලකසේන තේරුම් ගත යුතුව ඇත.

සංවාදය අවසානයේ මා පෞද්ගලිකව ඔහු සමග කළ ප්‍රශ්න කිරීමේ දී ලේඛනයේ දී කට වහර භාවිතා කිරීම මගින් අර්බුද සමනය වන බවක් නැවත ප්‍රකාශ කළ ද කතා කරන භාෂාවෙන් ලිවීමේ දී යම්කිසි ගද්‍ය ආඛ්‍යානයක ප්‍රමිතිගතභාවය අපි කෙසේ නිර්ණය කරමු දැයි ඇසූ විට ඔහුට ඒ සඳහා පිළිතුරක් නොතිබුණි. එහිදී ඔහු කලින් කී දෙයක් නැවතත් කියමින් ලේඛන වහරත් කට වහරත් සම්මිශ්‍රණය කොට ලිවීම හෙවත් ඇට්ටකුණා කර ගැනීමක් (ගම්ලත් ට අනුව හඩු භාෂාව) වැනි මධ්‍යම ප්‍රතිපදා බෝලයක් පාස් කරයි. හඩු සිංහලයට පුන පුනා බනින ගම්ලත් ද එවිට මුනිවතම රැක සිටියේ එවැනි ලේඛනයකට හැන්සාඩ් වාර්තාව උදාහරණයක් ලෙස තිලකසේන පෙන්වා දෙද්දී ය.

තිලකසේන පෙන්වා දෙන ආකාරයට කට වහරින් ලිවීම ඇරඹුන හොත් මෙවැනි දෑ සිදු වනු ඇත.

1. ළමයෙකුට හෝඩිය සහ අකුරු ලිවීම පමණක් උගැන්වීම ප්‍රමාණවත් වේ. ඉන් ඔබ්බට සිංහල භාෂා ගුරුවරු පාසල් වලට අවශ්‍ය නැත.

2. වර්තමාන සිංහල හෝඩිය සහ අකුරු ලිවීම කියවීම ළමයෙකුට උගැන්වූ පසු ඔහු සිංහල භාෂාවේ පරිපාකයට පත් වීම.(මන්ද තිලකසේනට අනුව භාෂාවේ වෙනත් යමක් ඉගෙන ගැනීමට නොමැති විම සහ ඉන් පලක් නොවිම. - මෙය බැලූ බැල්මට නම් මරු ය. )

3. ඒ අනුව පාසල් වල සිංහල භාෂාව යනුවෙන් ප්‍රශ්න පත්‍රයක් සෑදිය නොහැකි වීම. (ඉන් පසුව සිංහල භාෂා ගුරුවරු ත්‍රීවිලරයක් හෝ පදවා එදා වේල සරි කර ගත යුතු වේ. සන්නස්ගලට නම් එසේ කළ යුතු නොවේ.)

4. භාෂාවේ ව්‍යාකරණමය කිසිඳු අංගයක් පිළිබඳව නොසලකා ලේඛනයේ යෙදිය හැකි වීම. උක්ත ආඛ්‍යාත වල සිට වචනත්‍රය, කාලත්‍රය, පුරුෂත්‍රය හරහා විභක්ති, සමාස, සන්ධි, කර්මකාරක, කෘදන්ත, තද්ධිත ඈ මෙකී නොකී සියලුම දෑ අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත ලෑම. එය ද ප්‍රශ්නයක් නැත. නමුත් ඉක්බිතිව මැටි මෝලුන් සේ ලිවීමේ නිරත වන ප්‍රජාවක් උත්පාදනය වීම.

5. සිංහලයේ මෙතෙක් තිබූ භාෂණය සහ ලේඛනය යන දෙවදෑරුම හැඳි ගා අතු ගා දමා භාෂණයම ලේඛනය ලෙස වැළඳගැනීම. (කුණු හරුප බහුල ලෙස අපේ කට වහරේ තිබෙන බැවින් අමු තිත්ත කණු හරුපයෙන් ද ලේඛනයේ යෙදිය හැකි වීම. යමෙක් ඒ ගැන ප්‍රශ්න කළොත් අපි තිලකසේන මහත්තයා කියා දුන් කට වහරින් ලියනවා යැයි කිව හැක)

6. කට වහරින් ලිවීම හුරු කරන තැන්හි සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍ය විස්ථාපනය වී නූතන සාහිත්‍ය කෘති ද පුස්තකාල ද කුණු ගොඩවල් වී වැළලී යන තැන් හි සාහිත්‍යක් පිළිබඳ ව සුභ සිහින දැකීම හමාර වීම.

7. කට වහරින් ලිවීම ප්‍රගුණ කළ වුන් කතා කරන භාෂාවෙන් සිංදු ලිවීමට පටන් ගැනීම. (අදට ත් මෙය අඩු වැඩි වශයෙන් සිදුවන අතර මේ අනුව අධෝ මුඛයෙන් වමනෙ යන ගීත අනාගතයේ දී ඇසෙනු ඇත.)

කරුණු එසේ වුව ද තිලකසේන මහතා සංවාදයට ප්‍රවිෂ්ට විය යුතු ව තිබුණේ එසේ නොව. ඔහු ප්‍රකාශ කළ යුතු ව තිබුණේ මා නිවැරදිව භාෂාව හදාරා සම්ප්‍රදාය අත්හල බව ත් ඔබ ද නිවැරදිව හදාර අවශ්‍ය නම් ඔබේ ආඛ්‍යාන රීතිය ගොඩනගන්න යන්න යි.

මෙම සාකච්ඡාව තුළ මතු නොවුව ද ඔහු විසින් පෙන්වා දෙන සඤ්ඤක ‘අ’ අකුරත් සඤ්ඤක ‘හ’ අකුරත් වර්තමාන සිංහල හෝඩියට ඈඳිය යුතු බව මම පිළිගන්නකි. හැඬුම් හඬක් හෝ එවැනි ශබ්දයක් ලිඛිතව ලිවීමට ඇති අපහසුතාවය ඔහු විසින් දැකීම පසසමි. තිලකසේන ගේ හුදෙකලා අරගලයේ සාධනීය අංගෝපාංගයන් අගයන අතර ඔහුගෙන් ව්‍යුත්පන්න වන කතිකාව භාෂාවක අනාගත පැවැත්ම සඳහා ප්‍රබල පිටිවහලක් නොසපයන බව කණගාටුවෙන් කිව යුතු ය.

භාෂාවක් අලුත් විය යුතුය යන්න අතීත විද්වතෙක් පල කළ අදහසක් ඔහු මෙහි දී ගෙන හැර දැක් වී ය. “කැණීම් කරද්දී ශත වර්ෂ ගණනාවක් ඉපැරණි පිහියක් හමු වූ විට අපි එය පාන් කපන්න ගන්නවා ද? එසේත් නැතිනම් එය කෞතුකාගාරයේ තබනවා ද ?” නමුත් මා කියා සිටිනුයේ එය තවමත් මුවහත් නම් එය පරයා යන නිෂ්පාදනයක් ද තවම නොමැති නම් පාන් කැපීමට සුදුසු ම පිහිය එය බව යි. භාෂාවක් ගතික ය. ක්‍රම ක්‍රමයෙන් අලුත් වන බව නිසැක ය. නමුත් තිලකසේන ගේ නව භාෂාවක එළඹුම් යෝජනා අසංවිධානාත්මක ය. එවන් භාෂාවක අපගමන සම්භාවිතාව ඉතා ඉහල ය.

සංවාදය අතර තුර සුචරිත ගම්ලත් කිසිවක් නොකියා නැගිට යාම මහාචාර්යවරයෙකු ට යුක්ති යුක්ත නොවන අතර ප්‍රධාන දේශකයා වූ අජිත් තිලකසේන ඔහුට එතෙක් ඇහුම් කන් දුන් පිරිස බලා සිටිද් දී කිසිත් නොකියා ම නැගිට යාම පිස්සු පීකුදු ක්‍රියාවකි. මේ සන්තෑසිය වාඩි වී බලා සිටි අප යා යුතු පාර ඇසූ විට “තමුසෙ පලයං ඕයි.....!” වැනි අණ්ඩර දෙමළ උත්තරයක් ඉතුරු කරමින් පැය දෙකක් හමාර විය.

ඉතිං මට ප්ලේන්ටියක් බොන්න සිත් විය.

“ප්ලීස් මෙයා....අර රාක්කෙ උඩ තියෙන කෝප්පෙ කොණ්ඩු වාංග..”

කනේ වැලි අනේ...!

(සංවාදයට විවෘතයි.)

ඉස්සුවේ බූන්දියෙන්
                               

                           ----------   වීරයා ------------

යාපනය - ඇද වැටෙන ගොඩ නැගෙන වීර ස්මාරක

‘වෙනම රටක්’ වෙනුවෙන් සටන් වැදුණු එල්ටීටීඊ සංවිධානය මුළුමනින්ම  පරාජයට පත්කර එහි නායකත්වය ඇතුළු කාඩර්වරුන් අතිබහුතරයක් මරා දැමීමෙන් පසු උතුරු යුද්ධය කෙළවරක් විය. දකුණට ඒ පිළිබඳ ශුභාරංචිය ලැබී වසරක් සපිරෙන්නට තවත් මාසයක පමණ කාලයක් ඉතිරිව ඇත.
පණ තිබුණු එල්ටීටීඊ කැරලිකරුවන්ට එරෙහිව ක‍්‍රියාත්මක වූ, ‘මානුෂික මෙහෙයුම’ නමැති නමකින් හඳුන්වනු ලද ඒ යුද්ධය අවසන් වී වසරකුත් ඉක්ම යන්නට පෙර, ජයග‍්‍රාහී ශ‍්‍රී ලංකා යුද හමුදාව පරාජිත එල්ටීටීඊ කැරලිකරුවන්ගේ සොහොන් කොත් උගුලා දමනු පිණිස මේ වන විටත් කරමින් සිටින සොහොන් සංහාරක යුද්ධයට නිශ්චිත නමක් දී නැත. එහෙත් එයට ‘අමානුෂික මෙහෙයුම’ වැනි නමක් වඩාත් සුදුසුය.

මහවිරු සොහොන්

2008 සටන් විරාම සමයේ යාපනේ, උතුරේ, ඇවිදිද්දී ඔබ/අප දුටු එල්ටීටීඊ මහවිරු සොහොන් සංකීර්ණ අද එහි යන ඔබට/අපට දක්නට ලැබෙන්නේ නැත. යුද්ධය අවසන් වී ගතවූ මාස කිහිපය තුළ එකී සොහොන්වල තනා තිබූ සියලූ ධවල ස්මාරක සියල්ල ඩෝසර්වලට කැපී සුණු විසුණු වී ගොස් ඇත.
අක්කර ගණන් වපසරිය සහිත මහවිරු සොහොන් සංකීර්ණ තුනක් යාපනේ ඉදිකර තිබුණි. ඒ කෝපායි, වේලනෙයි සහ කොඩිකාමම් යන ප‍්‍රදේශවලයි. අද ඒ සොහොන් බිම් තුනම කොන්ක‍්‍රීට්, ගඩොල් සුන්බුන්වලින් හැඩිවී ගිය මුඩුබිම් තුනකි. තවත් අවුරුදු කිහිපයකින්, ඉතාම ඉක්මනින්, එබිම් වල්බිහිවීමෙන් හෝ වෙනත් ගොඩනැගිලි ඉදිවීමෙන් විශාල වෙනසකට ලක්වනු ඇත. එවිට ඒ බිම් අරගලයක් වෙනුවෙන් ලේ හෙළුෑ මළ මිනිසුන් නිදන බිමකැ’යි කිසිවකුත් නොකියනු ඇත.
යාපනේ මහවිරු සොහොන් උගුලා දැමීම පිළිබඳව කළකිරුණු යාපනයේ එක් දෙමළ තරුණයෙක් ලියුම්කාරිය සමග පැවසුවේ මෙවැන්නකි.
‘එල්ටීටීඊ කැරලිකරුවො, එහෙමත් නැත්නම් දකුණේ ඔයාලට අනුව ත‍්‍රස්තවාදියො වුණු අපේ සහෝදරයන්ගෙ මරණයේ සිහිවටන තමයි අද හමුදාවෙ සොල්දාදුවන් අතින් කැඩෙන්නෙ. මෙහෙම දේවල් ලෝකෙ වෙන කොහේවත් වෙනවද කියන්න අපි දන්නෙ නැහැ. කාටහරි ඒවා නිකම්ම නිකම් ගඩොල්, වැලි, සිමෙන්ති විදිහට පේන්න පුළුවන්. ඒත් ඒ යට ඉන්නෙ පණ තිබුණු, මිය ගිය අපේ මිනිස්සු. හමුදාවෙ විරුද්ධවාදීන් වුණත් උන් අපේ සහෝදරයො, දරුවො. සමහරකුට ඔවුන්ව වීරයන් විදිහටත් පිළිගන්න පුළුවන්.
හමුදාව කරන මේ වැඬේ නින්දිතයි. ඉතාම පහත්.’’

තිලීපන් ස්මාරකය

නල්ලූර්හි කන්දසාමි කෝවිල ආසන්නයේ තිබුණු ‘තිලීපන්ගේ ස්මාරකය’ ද දැනට මාසයකට පමණ ඉහතදී කඩා දමා ඇත. ඉන්දියන් හමුදාවට ඉල්ලීම් හයක් ඉදිරිපත් කර ඒ වෙනුවෙන් වතුර උගුරක්වත්  නොදී දින එකොළහක් උපවාස කර මියගිය එල්ටීටීඊ දේශපාලන අංශයේ නායකයා වූ තිලීපන් සිහිවීම පිණිස තනනු ලැබ තිබූ පණ නැති ස්මාරකයක්, පණ ඇති කරුණා අම්මාන්ට වඩා ත‍්‍රස්තවාදී වූයේ කෙසේදැ’යි යන්න පැහැදිලි නැත.

අහස බලා ගිනි අව් කූටකේ දරාපන්
පොළොව පලා වැගිරූ ලේ සයුර බලාපන්
ජීවිතයෙන් වන්දි ගෙවූ සොයුර තිලීපන්
උඹයි මමයි එක අම්මගෙ දරුවො තිලීපන්...
අපි සිහලය අපි දෙමළය අපේ මෝඩකම් නොතකන
මතු පරපුර රට එක් කර මිනිස්කමට පේ‍්‍රම කරනු
මොහොතක උඹ ගුණ සිහිකර ඒ කෝවිල ළඟ ඉඳගෙන
මම ඇවිදින් දණ නමනව උඹගේ පිළිරුව ඉඹගෙන
කේ. ආනන්ද හිමියන් ලියූ, ජයතිලක බණ්ඩාරයන් ‘සාධු ජනරාවට’ ගැයූ, ඒ ‘තිලීපන් ගීතය’ ද හෙට දවසේ ගොළුවී ගියොත්, (ගොළුකර දැමුවහොත්) ඉතින් අපි පුදුම නොවෙමු.
‘මහවිරු සොහොන් කැඞීම පිළිබඳව මම හරියට දැනුවත්ව නැහැ. තිලීපන් ස්මාරකය කඩපු බව දන්නවා. ඒකෙ ලොකු වරදක් තියෙනවා කියලා අපි හිතන්නෙ නැහැ. තිලීපන් ස්මාරකයේ පුවරුවක කොටි නිල ඇඳුමින් සැරසුණු තිලීපන්ගෙ පින්තූරයක් තිබුණා. එතකොට පැහැදිලිවම ඒක එල්ටීටීඊ ස්මාරකයක් වෙනවා. දැන් ත‍්‍රස්තවාදය මුළුමනින්ම ඉවත් කරල තියෙන්නෙ. දැන් මේ රටේ කොතැනකවත් වෙනත් නිල ඇඳුමක් ඇඳගත්තු හමුදාවක් ඉන්න බැහැ. එහෙම පින්තූරයක්, ස්මාරකයක්වත් තිබීම අවශ්‍ය නැහැ. ඒ නිසා තිලීපන් ස්මාරකය කඩා ඉවත් කිරීම අසාධාරණයක් නොවෙයියැ’යි රාවයට පැවසුවේ යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජෙනරාල් ප‍්‍රසාද් සමරසිංහය.
උතුරට - හමුදා ස්මාරක

යුද ජයග‍්‍රහණයෙන් පසුව හමුදාව, එල්ටීටීඊ කැරලිකරුවන්ගේ පැරණි සොහොන් සහ ස්මාරක කඩා ඉවත් කර, විනාශ කර දමමින් සිටින අතර’තුර තමන්ගේ ජය සැමරීම වෙනුවෙන් අලූතින් රණවිරු ස්මාරක තනමින් සිටින අයුරුද දක්නට ලැබේ. එලිෆන්ට්ෆාස් ආසන්නයේ ඒ 9 මාර්ගයට යාබදවද, පුදුකුඩුඉරිප්පුහිද එවැනි දැවැන්ත රණවිරු ස්මාරක දෙකක් අලූතින් ඉදිකර ඇත.
පුදුකුඩිඉරිප්පු ජලාශයක් මැද ඉදිකර තිබෙන දැවැන්ත රණවිරු ස්මාරකය එක අතකින් ජාතික කොඩියද, අනෙක් අතින් ගිනි අවියක්ද ගෙන, ගිරිය පුප්පාගෙන හිතට මඳක් ඔසවා ජයග‍්‍රාහී විලාසයෙන් සිටින හමුදා සෙබළකුගේ දැවැන්ත ප‍්‍රතිමාවකි.
එළාර-දුටුගැමුණු යුද්ධය නිමාවීමෙන්  පසුව ජයගත් දුටුගැමුණු රජු තමන්ගේ රාජධානියේ අනුරාධපුරයේ පරාජිත ප‍්‍රතිමල්ලවයාගේ (එළාර රජුගේ* සොහොනක් කරවා එයට ආචාර කරන ලෙස රටවැසියන්ට අණ කළ ඉතිහාස කතාවක් අපි අසා ඇත්තෙමු.
එහෙත් මෙවර එය කණපිට හරවා පරාජිතයාගේ භූමියේ තිබෙන ඔවුන්ගේ සොහොන් වනසා ඒ වෙනුවට ජයග‍්‍රාහී පිලේ විරුවන්ගේ ස්මාරක ඔවුන්ගේ බිමේ ඉදිකර ජය තහවුරු කරගැනීම සංකේතවත් කිරීමට දරන උත්සාහයක් පෙන්නුම් කරයි.

කන්දරෝඩෙයි - කදුරුගොඩ වීම

මේ දෙමළ බෞද්ධයන් ගැන ලියූ මහැදුරු සුනිල් ආරියරත්නයන් වැන්නන් හෝ මැදිහත්ව වහාම වැළැක්විය යුතු තවත් ඛේදවාචකයකි. පුරාණ දමිළ ගම්මානවලට අයත්ව තිබෙන නටබුන් බෞද්ධ වෙහෙර විහාර හේතු කොටගෙන එකී ගම්මානවලට සිංහල නම් යොදා සිංහල බෞද්ධයන්ට අමුතු ප‍්‍රීතියක් කවා, ව්‍යාජ අභිමානයක් උලූප්පා, ‘දෙමළ නිජබිම්’, ‘සිංහල අපේ පැරණි ගම්මාන’ බවට ඒත්තු ගැන්වීම එම ඛේදවාචකයයි.
‘ඓතිහාසික කදුරුගොඩ’ යනුවෙන් ඊයේ පෙරේදා නම වෙනස් කරනු ලබන ‘කන්දරොඩෙයි’ දෙමළ ගම ඊට කදිම නිදසුනකි.
කන්දරොඩෙයි රහතන් වහන්සේලාගේයැ’යි කියන භෂ්මාවශේෂ තැන්පත් කර තිබෙන පැරණි සොහොන් සමූහයක් ඇත. ‘ඓතිහාසික කදුරුගොඩ විහාරය’ යනුවෙන් අලූත් නාමපුවරුවක් එහි දැන් සවිකර ඇත. පැරණි ‘නම් පොතේ’ කියැවෙන ‘කදුරුගොඩ විහාරය’ නම්, මේ විහාරයයැ’යි එහි සඳහන්ය.
එහි වැඩිදුරටත් සඳහන්වන්නේ මෙම ඓතිහාසික විහාරය සංකිලි නම් දෙමළ රජු විසින් විනාශ කර දමා ඇති බවකි.
හා හා පුරා කියා දකුණින් යාපනේ වන්දනාවේ යන සිංහල බෞද්ධයන් නාගදීපයත්, කඳුරුගොඩ ආදී වෙහෙර විහාරත් වැඳ, ඒවා විනාශ කර දමා ඇතැ’යි කියන දෙමළුන්ට බැණ බැණ ආපසු ගම් බිම් බලා පිටතව යති.
ඒ අතරතුර අලූතින් ඉදිකෙරෙමින් තිබෙන පන්සල්ද තැන තැන දක්නට ලැබෙන අතර, ‘මේ සිංහල බෞද්ධ රාජ්‍යයයි. සිංහල දේශය බුදුන්ගේද දේශයයි. ‘‘සිංහලේ  - ශ‍්‍රී ලංකා භාරත - ඉන්දියාව’’ වැනි සිංහල, ඉංග‍්‍රීසි පාඨ සහිත පුවරුද ඒවායෙහි සවිකර ඇත.

කිට්ටුගේ උයනට සීගිරියක්

නල්ලූර් සිට පේදුරු පාරේ කිලෝමීටර් දෙකක් පමණ ගිය තැන හමුවන කිට්ටුගේ උයන මැද නටබුන්ව ගිය ඉදිකිරීමකි. එහි එක්පසෙක සංකිලි රජුගේ ප‍්‍රතිමාවකි. අප එහි යන විට එම ස්ථාන භාරව සිටින ආරක්ෂක නිලධාරි - හමුදා සෙබළා සිංහල සංචාරකයන් පිරිසකට කිට්ටුගේ උයනෙහි ඉදිකරන්නට නියමිත ‘සීගිරි අනුරුවක්’ පිළිබඳව විස්තර කරමින් සිටියේය. එහි මූලික මැනුම් කටයුතු නිමවී ඇති බවත්, ළඟදීම ඉදිකිරීම් අරඹන බවත්, එවැනි ඉදිකිරීම් 15ක් පමණ යාපනේ තැන තැන ඉදිකිරීමට කටයුතු යොදා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
ප‍්‍රභාකරන්ගේ නිවස සමතලා කෙරේ
මුලින් මුලින් දකුණින් උතුරට ගිය සංචාරකයින් ප‍්‍රභාකරන් සමග ඇති  වෛරය විසඳා ගත්තේ එම නිවසට පහරදෙමින්, එහි අසභ්‍ය වචන ලියමිනි. එමෙන්ම එය යුද්ධය අවසන් වූ අලූත උතුරට ගිය සංචාරකයන්ගේ අවධානයට ලක්වූ වැදගත් ප‍්‍රදර්ශනීය අංගයක් විය. සංචාරකයන් එයට හානි කරන බැවිනුත්, ඔවුන් එසේ කරන විට අසල්වාසී දෙමළ ජනතාව (ප‍්‍රභාකරන්ගේ ඥාතීන් හා අසල්වැසියන්* සමග ආරාවුල් ඇතිවිය හැකි බැවිනුත් පසුව එය සංචාරයට තහනම් කලාපයක් බවට පත් කරන ලදි.
ප‍්‍රභාකරන්ට අයත්ව තිබූ එම වැල්වැටිතුරේ නිවසද පසුගියදා හමුදාව විසින් ඩෝසර් කර දමා ඇති බව සටහන ලියන අතරතුරදී ආරංචි විය.

නල්ලූර්හි රන් දෙවොල පරයන හෝටලයක්

නල්ලූර්හි ඉදිකිරීමට නියමිතව තිබෙන තරු හතරේ සංචාරක හෝටලය නල්ලූර්වලින් පිටත  ඉදිකරන්නැ’යි ප‍්‍රදේශවාසීන් පමණක් නොව, යාපනේ සමස්ත හින්දු භක්තිකයන්ම ඉල්ලා සිටී. ඔවුන් පවසන්නේ ඓතිහාසික කන්දසාමි කෝවිල පිහිටි නල්ලූර් නගරය ‘හින්දු බැතිමතුන්ගේ ශුද්ධ වූ නගරය’ වන බැවින් එහි සංචාරක හෝටලයක් ඉදිකිරීම අනුමත කළ නොහැකි බවකි. ඔවුන් කියා සිටින්නේ මුහුදුබඩ වෙරළක් වැනි තැනක ඉදිකළ යුතුව තිබෙන හෝටලයක් පූජනීය නගරයක් මැද ඉදිකිරීමට සැලසුම් කිරීමම අයුක්තිසහගත බවය.
අනාරක්ෂිත සංගිලි රාජ උරුමය
යාපනේ දෙමළ රාජාවලියේ අවසන් රජු වන සංකිලි රජුගේ මන්ත‍්‍රී මාලිගය, මාලිගා පිවිසුම් දොරටුව, යමුනා ඒරි පොකුණ වැනි ඓතිහාසික ස්ථාන තවමත් පුරාවිද්‍යාත්මක සංරක්ෂිත ස්ථාන බවට පත්කර නැත. අප සංකිලි රජුගේ මන්ත‍්‍රී මාලිගාවට යන විටත්, එහි මධ්‍ය පීඨිකාවේ බිම එලා තිබූ තල් පැදුරක නිදන සිඟිත්තියක් දැකගත හැකි විය. ඒ මාලිගයට යාබදව පිහිටා ඇති ඇගේ නිවසේ ටකරම් වහල යට නොමැති සිසිලසක් විඳගනිමිනි. ඒ සිඟිත්තියත්, ඇගේ පියාත් හැරෙන්නට මාලිගාවේ ආරක්ෂාවට බල්ලෙක් කපුටෙක්වත් එහි සිටියේ නැත.
මේ පිළිබඳව අප පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසූ විට එහි උසස් නිලධාරියෙක් අප සමග පැවසුවේ යාපනේ කොටුව, කදුරුගොඩ පුදබිම, ඩෙල්ෆ්ට් දූපතේ කොටුව හැර යාපනේ අන් කිසිම ස්ථානයක් පුරාවිද්‍යාත්මක සංරක්ෂිත ස්ථාන ලෙස නම් කර නොමැති බවයි.
එල්ටීටීඊ ස්මාරක, සොහොන් කොත් ආදී යාපනේ මෑත ඉතිහාසයේ ඉදිකිරීම් කඩා ඉවත් කිරීම් වැළැක්වීමට ‘කිසියම්’ පියවරක් ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකිදැ’යි අප කළ විමසීමකදී එහි ඉහළ නිලධාරියෙක් පැවසුවේ අවුරුදු 100ට කලින් කළ ඉදිකිරීම්වල ආරක්ෂාව පිළිබඳව දෙපාර්තමේන්තුවට වගකීමක් ඇතත්, මෑතකාලීන ඉදිකිරීම් ආරක්ෂා කිරීම පිළිබඳ වගකීමක් නොමැති බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පනත අනුව එවැනි මෑතකාලීන ඓතිහාසික ස්ථානවලට වන හානි වැළැක්වීම පිණිස පූර්ණ බලතල ඇමතිවරයා සතුව ඇති බවත්, ඇමතිවරයාගේ නියෝගයකින් ඒවා වැළැක්විය හැකි බවත්ය.

යාපනේ පුරාවිද්‍යා ගවේෂණ

මේ අතර යාපනේ පුරාවිද්‍යා ගවේෂණ කටයුතු සඳහා ජනවාරි මස සිට එහි නව කාර්යාලයක්ද විවෘත කර ඇත. එමගින් පුරාවිද්‍යා ගවේෂණ නිලධාරීන්, ගවේෂණ සහකාරවරුන් යන නිලධාරීන් 4 දෙනකු ගවේෂණ කටයුතු සඳහා යොදවා සිටින අතර එම නිලධාරීන් 4 දෙනාගෙන් එක් අයෙක් බෞද්ධ භික්ෂූන් වන අතර අනෙක් තිදෙනාම සිංහල බෞද්ධ නිලධාරීන්ය. යාපන විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා විෂය සම්බන්ධ මහාචාර්යවරයෙක් පවා සිටියදී ඔහු පවා එම ගවේෂණ කටයුතුවලට සහභාගි කරවාගෙන නොමැත.
ඒ අනුව යාපනයේ දෙමළ රාජ සහ ජන ඉතිහාසය ගවේෂණ කෙරෙන්නේද දෙමළ ජන - විද්‍යාර්ථි සහභාගිත්වයෙන් තොරව වීම විවේචන කටයුතුය.
කෙසේ වෙතත්, උතුරේ යාපනේ දෙමළ නිජබිමේ ඈත මෙන්ම  මෑත ඉතිහාසයද විකෘති කිරීමේ ප‍්‍රචණ්ඩ බලවේගයන් ක‍්‍රියාත්මකවෙමින් තිබෙන බව පෙනේ. ඒ සඳහා රාජ්‍ය බලය, හමුදා ශ‍්‍රමය යෙදවේ. ඊට සිංහල - බෞද්ධයන්ගේ අනුග‍්‍රහය, ආශිර්වාදය ලැබේ.
                                     
                        ---- සුරේඛා සමරසේනගේ චාරිකා සටහන (රාවය)---

Powered by Blogger