මේ රට වැටිල තියෙන ප‍්‍රපාතය දක්වන සහතික පත‍්‍රයක් හැටියට අයවැය ප‍්‍රකාශය සලකන්න පුළුවන්. 1948 ලබපු දේශපාලන නිදහස දැන් නිහඩවම ආර්ථික බැමිවලින් යට වෙලා ගිහින්. දැන් අපි ලෝක බලවතුන්ගේ හිරකාරයෝ බවට පත්වෙලා. 1977 දී එක්සත් ජාතික පක්‍ෂය විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති තුළින් මේ රටට බහුජාතික සමාගම්වල පාලනයට යට වෙන ගමනට මුල්ගල් තිබ්බා. ඒත් ජේ.ආර්.ගේ මේ වැඩපිළිවෙලට විරුද්ධව කම්කරුවන්ගෙන් සටන ආරම්භ වුණා. 1980 වැඩවර්ජනයෙන් එළිදැක්වුණේ ඒ විරෝධය බව හොඳට කල්පනා කළොත් පෙනෙනවා. ඒ විදියට මේ වහල්භාවයේ ගමනට විරුදධත්වය නිර්ධනීන්ගෙන් ආරම්භ වුණා. එයින් පස්සේ දකුණේ මෙන්ම උතුරේ තරුණයොත් කැරලි ගහන්න පටන් ගත්තා. ඒ අය මොන සටන්පාඨ යටතේ කැරලි ගැහුවත් ඇත්තටම එය ගොඩනැගෙන ආර්ථික සමාජ විනාශයට විරුද්ධව කරපු සටන් හැටියට ඉතිහාස ගත වෙනවා. මේ සටන් නිසා බහුජාතික බූවල්ලාගේ ගමන අවුල් වුණා. එයට ඒ සටන් තුළින් අභියෝග මතුවුණා. ජේ.ආර්. දේශපාලන මාවතෙන් පහුබැහැල බලය බෙදාදීම ගැන කථා කරල තමයි මේවට මුහුණ දුන්නේ. කොහොමටත් ඔහුගේ ගමන මේ සටන නිසා බාල වුණා. රනිල් වික‍්‍රමසිංහ බලයට ආපු ගමන් විවෘත ආර්ථික ක‍්‍රමය ඉදිරියට ගෙනෙමින් ආර්ථික වහල්කම ඇති කරගැනීමේ සිහිනයක් ඇති කළා. උන්නැහේ "යළි පුබුදමු" කියල හඳුන්වලා දුන්න වැඩපිළිවෙල තුළ තිබුණේ ගෝලීය බලවතුන්ගේ වැඩපිළිවෙල දියත් කරන ක‍්‍රමයයි. දෙමළ තරුණ කැරැල්ල නිසා මේවා යට කරල දමන්න ඔහුටත් සිදු වුණා.
මේ විදියට තිස් අවුරුද්දකටත් වඩා කල් දමාගත් වැඩපිළිවෙල බොහොම කෙළින් ඉදිරියට දමා ගත් අවස්ථාව හැටියට මේ අයවැය හඳුන්වල දෙන්න පුළුවන්. මහින්ද රජය තමන් යුද්ධය තුළින් ලබාගත් හයිය ධනපති රාජ්‍යය තහවුරු කරගැනීමට හොඳට යොදා ගත්තා. පසුගිය කාලේ ජනතා විමුක්ති පෙරමුණ මේ ධනපති රාජ්‍යය හැඳූින්වූයේ ගොඩනැගී එන ජාතික රාජ්‍යයක් හැටියට. එය තහවුරු කරගැනීම ප‍්‍රගතිශීලි වැඩක් හැටියටත් උන්නැහේලා තේරුම් කළා. ලෝක බලවතුන් මෙය දුර්වල කිරීමට හදන නිසා එය ශක්තිමත් කළ යුතු බවට තර්ක කළා. ඒත් දැන් සිදු වී ඇත්තේ අපි පෙන්වලා දුන්න විදියටම යුද්ධයෙන්, ජාතිවාදයෙන් ශක්තිමත් කරගත් මේ ඊනියා දේශපේ‍්‍රමී රාජ්‍යය මුළු රටටත්, ජනතාවටත් වහල්භාවය ඇති කිරීමේ ප‍්‍රධාන උපකරණය හැටියට ගෝලීය බලවතුන්ම යොදා ගැනීමයි. ඒ අය දැන් කියන්නේ රජයේ සංවර්ධනය තහවුරු වීම පදනම් කරගෙන බරපතල ආර්ථික වැඩපිළිවෙලක් ඉෂ්ඨ කරන හැටියටයි. ඊට අමතරව ආර්ථික කටයුතුවලදී ලාභය ලබාගැනීමට මිස ජනතාවට සහන සැලසීමට යොමු නොවිය යුතු බවත් මොවුන් අවධාරණය කරනවා. මේ විදියට දරුණු මර්ධනයක් කරමින් රට ගෙනියන්නටයි සැලසුම් දමන්නේ. ඒ අතරම ධනපතින්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව වෙළෙඳපොලට හවුල්වීම සඳහා නිදහස තිබිය යුතු බවත් කියනවා. මානව අයිතීන් ගැන බල කිරීම එන්නේ ඒ පැත්තෙන්. යුද අපරාධ ගැන කථා කරන්නේම ධනපති සමාජය තුළ සමතුලිතභාවය ඇති කරන්නටයි. විශේෂයෙන්ම දෙමළ මුස්ලිම් ධනපතියන්ගේ උදව් ලබාගෙන පාලනය හා ආර්ථිකය ගෙන ගිය යුතු බවත් ඔවුන් අවධාරණය කරනවා. මේ අනුව බැලූවහම මේ පාලකයෝ අද ගිරයට අහු වුණ පුවක් ගෙඩියක තත්ත්වයටයි ඇවිල්ලා තියෙන්නේ. මේ තරම් ලෝක බලවතුන්ට යටත් වෙලා දඟලන්න වුණ නායකයෙක් මීට පෙර ඉඳලා නෑ. රටේ මුළු ආර්ථිකයම පුද්ගලික අංශයට, බහුජාතික සමාගම්වලට බාර කරල දේශීය ධනපතියනුත්, නිලධාරීන් මෙන්ම උගතුනුත් වහල්භාවයට දමන්නට ඔවුන්ට සිද්ධ වෙනවා. එතකොට මේක නිර්ධනීන්ගේ ගැටලූවක් විතරක් නෙවෙයි, ඒක දේශීය ධනපතියන්ටත් ඉහළ මැද පංතියටත් බලපාන දරුණුම ගැටලූවක්.
දේශපාලන පැත්තෙන් බැලූවහම මේ වහල්භාවය පෙනෙන්නේ නැහැ. මොකද? පාර්ලිමේන්තුව, ජනාධිපති, ඡුන්ද මේ සියල්ල තියෙනවා. කලටවෙලාවට මැතිවරණත් පවත්වනවා. ඒත් මේ සියල්ල අස්සේ අපේ සම්පත් අපෙන් ඉවත් වෙලා යනවා. කොමියුනිස්ට් කියා ගත්ත නායකයොත් කියල තිබුණ කිසිම ආයතනයක් පුද්ගලික කරන්නේ නැහැ කියලා. ඒත් අද වෙනකොට රජයට තිබුණ වාණීජ බලය මුළුමණින්ම හින්දල ඉවරයි. රාජ්‍ය බැංකු දෙකත් පාලනය වෙන්නේ බලවතුන්ට ඕනෑ විදියට ඔවුන්ගේ කළමනාකරුවන් මගින්. රජය පවරාගත් ඉඩම් සියල්ල දැන් පුද්ගලික අංශයට පවරල ඉවරයි. අනෙක් රජයේ ඉඩම් අනවසර නීතිය උඩ දුප්පතුන්ගෙන් උදුරල ලොක්කන්ට ලබාදෙන වැඩපිළිවෙල ක‍්‍රියාත්මක වෙනවා. දැන් හැම දෙයක්ම අනවසරයි. ඒ අපට. ඒත් ලොකු ජාවාරම්කාරයන්ට හෝටල් කරන්න, කර්මාන්ත දමන්න, වැවිලි කරන්න, මැණික් ඇතුළු ඛණිජ සම්පත් හාරගන්න ඕන තරම් ඉඩම් ලබාදෙන්න දැන් ආණ්ඩුව පුලපුලා බලා ඉන්නේ. උපන් බිමේ අසරණ සරණාගතයෝ වෙන්නේ මේ බිමේ උපන් දුප්පත් ජනතාවමයි.
තවත් පුදුම කථාවක් ආණ්ඩුවේ ඊනියා වාමාංශිකයන් ඉදිරිපත් කරල තිබුණ. ඒ තමා දැන් ඇමරිකාව දුර්වල නිසා ලෝක බැංකුවට නැත්නම් IMF එකට දැඩි ක‍්‍රියාමාර්ග ගන්න බැරි වෙනව කියන එකයි. ගෝලීය ධනවාදය ගැන අවබෝධයක් නැති උදවියගේ කථා තමා ඔය. ඒ අනුව ඉන්දියාව වැනි රටවල් හොඳ ආදර්ශයක් ලෙසත් මේ අය ඉදිරිපත් කරනවා. ඒත් ඇත්ත නම් දැන් ලෝකයේ බලවතුන්, බහුජාතික තන්ත‍්‍රය මිස රාජ්‍යවල් නොවන බවයි. පසුගිය අර්බුදය තුළ G20 මත පදනම් වීමට ඔබාමාට සිදු වුණේ ෂඵත්‍රැුඋඊ වල පඬිවරුන්ගේ උපදෙස් අනුවයි. දැන් මෙවැනි තීන්දුවලට මුලපුරන්නේ
IMF/WB/WTO කියන ත‍්‍රිත්වයයි. මේ තමා නූතන ලෝකය මෙහෙයවන දෙවියන්. අද ඒ දෙවියගේ එක උපකරණයක් වන මන්මෝහන් සිංලා ෂඵත් එකට තම රට අල්ලා දුන් අයයි. එහෙම අල්ලා දෙද්දී ඉන්දියාවේ ජනතාව රට පුරා කැරලි ගහන තැනට පත්වෙලා බව හොර වාමාංශිකයන්ට නොපෙනුනත් වන්දනා සිවා, අරුන්ධතී රෝයි වැනි බුද්ධමතුන්ට වැටහිලා තියෙනවා. G20 යෙන් අද ඉදිරිපත් කරන්නේ ගෝලීය ධනවාදයේ ඒකාබද්ධ මතවාදයයි. ඒක වඩාත්ම
IMF/WB/WTO පණඩිතයන්ගේ මතවාදයයි. G8 සිට G20 දක්වා ගමන් කිරීම ගෝලීය ධනවාදයේ තාවකාලික තහවුරු වීමක් මිස බිඳවැටීමක් නෙවෙයි.
මේ අනුව
IMF එක ලංකාව තුළ මෙහෙයුම් දියත් කිරීමේදී වඩා යැපෙන්නේ ඉන්දියාවෙන්. ඒ සමඟම චීනයත් එයට හවුල් වෙනවා. මේ රටේ නිදහස විනාශ වෙන්නේ මේ ක‍්‍රියාමාර්ගයෙන් මිස කෙළින්ම ඇමෙරිකා මැදිහත් වීමෙන් නෙවෙයි. අද යටත්වීම ක‍්‍රියාත්මක වෙන්නේ ආර්ථික - සමාජ ගිවිසුම් තුළින්. බලපෑම් එන්නේ ආර්ථික - සමාජ බාධක පැමිණීම තුළින්. කෙළින්ම යුද නැවක් ඇවිත් හමුදාව කඩා පනින්නේ නැහැ. ලෙනින් එදා 1914 දීම පෙන්වලා දුන්නා මූල්‍ය මහ ධනේශ්වරයේ වැඩකටයුතු කරන්නේ තුන්ඩු මගින් කියලා. තුන්ඩු වලින් තමයි මේ අයවැයත් උන් පාලනය කරල තියෙන්නේ. නව යැංකි අධිරාජ්‍යවාදය ගැන ගොන් කථා කියන උදවිය දැන් සතුරා ලොකු මහත්වෙලා වෙන පැත්තකින් අල්ලගෙන බව දකින්නේ නෑ. මේ වගේ පිටිපස්ස බලල ඉස්සරහට යන ගොන් තඩියන්ගෙන් අපි ප‍්‍රවේසම් වෙන්න වෙනව. මොකද? ඒ අය තමා වඩාම නරක විදියට ජනතාව සතුරාට බිල්ලට දෙන්නේ. නොදන්න එකාට වඩා බාගෙට දන්න එකා භයානකයි කියන්නේ ඔය හින්දයි.
ඇත්ත තමයි ඉන්දියාවේ සාමාන්‍ය ජනතාව මේ ලංකාව කරන අපරාධ වලට සම්බන්ධ නෑ. ඒ අයත් බහුජාතික සමාගම්වලින් ඇති කරන මංකොල්ලයට හසු වන අය. ඇත්තටම සෝනියා ආණ්ඩුව ඉනිදීය ජනතාවම යටත්විජිතවාදී මර්දනයට හසු කරලයි තියෙන්නේ. තමන්ගේ උන්හැටි තැන්, පාරම්පරික උරුමයන්, නිදහස හා අනන්‍යතාවයන් විනාශ කරන රට තුළම දියත් වන පර බලවේගයන්ට විරුද්ධව විවිධ ජනතා සංවිධාන ඉංදියාව පුරාම සටන් වදින්නට පටන් අරන්. අපට ඇත්තේ මෙවැනි බලවේග සමඟත් එකතු වෙමින් මේ ඇති කරන වහල්භාවයට විරුද්ධව නැගී සිටීමයි. ගෝලීය ධනවාදයේ කොල්ලකරුවන්ට විරුද්ධ සටන අප දියත් කළ යුත්තේ මේ අවබෝධය සමඟයි.
ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න.
05.07.2010