යාපනය - ඇද වැටෙන ගොඩ නැගෙන වීර ස්මාරක

‘වෙනම රටක්’ වෙනුවෙන් සටන් වැදුණු එල්ටීටීඊ සංවිධානය මුළුමනින්ම  පරාජයට පත්කර එහි නායකත්වය ඇතුළු කාඩර්වරුන් අතිබහුතරයක් මරා දැමීමෙන් පසු උතුරු යුද්ධය කෙළවරක් විය. දකුණට ඒ පිළිබඳ ශුභාරංචිය ලැබී වසරක් සපිරෙන්නට තවත් මාසයක පමණ කාලයක් ඉතිරිව ඇත.
පණ තිබුණු එල්ටීටීඊ කැරලිකරුවන්ට එරෙහිව ක‍්‍රියාත්මක වූ, ‘මානුෂික මෙහෙයුම’ නමැති නමකින් හඳුන්වනු ලද ඒ යුද්ධය අවසන් වී වසරකුත් ඉක්ම යන්නට පෙර, ජයග‍්‍රාහී ශ‍්‍රී ලංකා යුද හමුදාව පරාජිත එල්ටීටීඊ කැරලිකරුවන්ගේ සොහොන් කොත් උගුලා දමනු පිණිස මේ වන විටත් කරමින් සිටින සොහොන් සංහාරක යුද්ධයට නිශ්චිත නමක් දී නැත. එහෙත් එයට ‘අමානුෂික මෙහෙයුම’ වැනි නමක් වඩාත් සුදුසුය.

මහවිරු සොහොන්

2008 සටන් විරාම සමයේ යාපනේ, උතුරේ, ඇවිදිද්දී ඔබ/අප දුටු එල්ටීටීඊ මහවිරු සොහොන් සංකීර්ණ අද එහි යන ඔබට/අපට දක්නට ලැබෙන්නේ නැත. යුද්ධය අවසන් වී ගතවූ මාස කිහිපය තුළ එකී සොහොන්වල තනා තිබූ සියලූ ධවල ස්මාරක සියල්ල ඩෝසර්වලට කැපී සුණු විසුණු වී ගොස් ඇත.
අක්කර ගණන් වපසරිය සහිත මහවිරු සොහොන් සංකීර්ණ තුනක් යාපනේ ඉදිකර තිබුණි. ඒ කෝපායි, වේලනෙයි සහ කොඩිකාමම් යන ප‍්‍රදේශවලයි. අද ඒ සොහොන් බිම් තුනම කොන්ක‍්‍රීට්, ගඩොල් සුන්බුන්වලින් හැඩිවී ගිය මුඩුබිම් තුනකි. තවත් අවුරුදු කිහිපයකින්, ඉතාම ඉක්මනින්, එබිම් වල්බිහිවීමෙන් හෝ වෙනත් ගොඩනැගිලි ඉදිවීමෙන් විශාල වෙනසකට ලක්වනු ඇත. එවිට ඒ බිම් අරගලයක් වෙනුවෙන් ලේ හෙළුෑ මළ මිනිසුන් නිදන බිමකැ’යි කිසිවකුත් නොකියනු ඇත.
යාපනේ මහවිරු සොහොන් උගුලා දැමීම පිළිබඳව කළකිරුණු යාපනයේ එක් දෙමළ තරුණයෙක් ලියුම්කාරිය සමග පැවසුවේ මෙවැන්නකි.
‘එල්ටීටීඊ කැරලිකරුවො, එහෙමත් නැත්නම් දකුණේ ඔයාලට අනුව ත‍්‍රස්තවාදියො වුණු අපේ සහෝදරයන්ගෙ මරණයේ සිහිවටන තමයි අද හමුදාවෙ සොල්දාදුවන් අතින් කැඩෙන්නෙ. මෙහෙම දේවල් ලෝකෙ වෙන කොහේවත් වෙනවද කියන්න අපි දන්නෙ නැහැ. කාටහරි ඒවා නිකම්ම නිකම් ගඩොල්, වැලි, සිමෙන්ති විදිහට පේන්න පුළුවන්. ඒත් ඒ යට ඉන්නෙ පණ තිබුණු, මිය ගිය අපේ මිනිස්සු. හමුදාවෙ විරුද්ධවාදීන් වුණත් උන් අපේ සහෝදරයො, දරුවො. සමහරකුට ඔවුන්ව වීරයන් විදිහටත් පිළිගන්න පුළුවන්.
හමුදාව කරන මේ වැඬේ නින්දිතයි. ඉතාම පහත්.’’

තිලීපන් ස්මාරකය

නල්ලූර්හි කන්දසාමි කෝවිල ආසන්නයේ තිබුණු ‘තිලීපන්ගේ ස්මාරකය’ ද දැනට මාසයකට පමණ ඉහතදී කඩා දමා ඇත. ඉන්දියන් හමුදාවට ඉල්ලීම් හයක් ඉදිරිපත් කර ඒ වෙනුවෙන් වතුර උගුරක්වත්  නොදී දින එකොළහක් උපවාස කර මියගිය එල්ටීටීඊ දේශපාලන අංශයේ නායකයා වූ තිලීපන් සිහිවීම පිණිස තනනු ලැබ තිබූ පණ නැති ස්මාරකයක්, පණ ඇති කරුණා අම්මාන්ට වඩා ත‍්‍රස්තවාදී වූයේ කෙසේදැ’යි යන්න පැහැදිලි නැත.

අහස බලා ගිනි අව් කූටකේ දරාපන්
පොළොව පලා වැගිරූ ලේ සයුර බලාපන්
ජීවිතයෙන් වන්දි ගෙවූ සොයුර තිලීපන්
උඹයි මමයි එක අම්මගෙ දරුවො තිලීපන්...
අපි සිහලය අපි දෙමළය අපේ මෝඩකම් නොතකන
මතු පරපුර රට එක් කර මිනිස්කමට පේ‍්‍රම කරනු
මොහොතක උඹ ගුණ සිහිකර ඒ කෝවිල ළඟ ඉඳගෙන
මම ඇවිදින් දණ නමනව උඹගේ පිළිරුව ඉඹගෙන
කේ. ආනන්ද හිමියන් ලියූ, ජයතිලක බණ්ඩාරයන් ‘සාධු ජනරාවට’ ගැයූ, ඒ ‘තිලීපන් ගීතය’ ද හෙට දවසේ ගොළුවී ගියොත්, (ගොළුකර දැමුවහොත්) ඉතින් අපි පුදුම නොවෙමු.
‘මහවිරු සොහොන් කැඞීම පිළිබඳව මම හරියට දැනුවත්ව නැහැ. තිලීපන් ස්මාරකය කඩපු බව දන්නවා. ඒකෙ ලොකු වරදක් තියෙනවා කියලා අපි හිතන්නෙ නැහැ. තිලීපන් ස්මාරකයේ පුවරුවක කොටි නිල ඇඳුමින් සැරසුණු තිලීපන්ගෙ පින්තූරයක් තිබුණා. එතකොට පැහැදිලිවම ඒක එල්ටීටීඊ ස්මාරකයක් වෙනවා. දැන් ත‍්‍රස්තවාදය මුළුමනින්ම ඉවත් කරල තියෙන්නෙ. දැන් මේ රටේ කොතැනකවත් වෙනත් නිල ඇඳුමක් ඇඳගත්තු හමුදාවක් ඉන්න බැහැ. එහෙම පින්තූරයක්, ස්මාරකයක්වත් තිබීම අවශ්‍ය නැහැ. ඒ නිසා තිලීපන් ස්මාරකය කඩා ඉවත් කිරීම අසාධාරණයක් නොවෙයියැ’යි රාවයට පැවසුවේ යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජෙනරාල් ප‍්‍රසාද් සමරසිංහය.
උතුරට - හමුදා ස්මාරක

යුද ජයග‍්‍රහණයෙන් පසුව හමුදාව, එල්ටීටීඊ කැරලිකරුවන්ගේ පැරණි සොහොන් සහ ස්මාරක කඩා ඉවත් කර, විනාශ කර දමමින් සිටින අතර’තුර තමන්ගේ ජය සැමරීම වෙනුවෙන් අලූතින් රණවිරු ස්මාරක තනමින් සිටින අයුරුද දක්නට ලැබේ. එලිෆන්ට්ෆාස් ආසන්නයේ ඒ 9 මාර්ගයට යාබදවද, පුදුකුඩුඉරිප්පුහිද එවැනි දැවැන්ත රණවිරු ස්මාරක දෙකක් අලූතින් ඉදිකර ඇත.
පුදුකුඩිඉරිප්පු ජලාශයක් මැද ඉදිකර තිබෙන දැවැන්ත රණවිරු ස්මාරකය එක අතකින් ජාතික කොඩියද, අනෙක් අතින් ගිනි අවියක්ද ගෙන, ගිරිය පුප්පාගෙන හිතට මඳක් ඔසවා ජයග‍්‍රාහී විලාසයෙන් සිටින හමුදා සෙබළකුගේ දැවැන්ත ප‍්‍රතිමාවකි.
එළාර-දුටුගැමුණු යුද්ධය නිමාවීමෙන්  පසුව ජයගත් දුටුගැමුණු රජු තමන්ගේ රාජධානියේ අනුරාධපුරයේ පරාජිත ප‍්‍රතිමල්ලවයාගේ (එළාර රජුගේ* සොහොනක් කරවා එයට ආචාර කරන ලෙස රටවැසියන්ට අණ කළ ඉතිහාස කතාවක් අපි අසා ඇත්තෙමු.
එහෙත් මෙවර එය කණපිට හරවා පරාජිතයාගේ භූමියේ තිබෙන ඔවුන්ගේ සොහොන් වනසා ඒ වෙනුවට ජයග‍්‍රාහී පිලේ විරුවන්ගේ ස්මාරක ඔවුන්ගේ බිමේ ඉදිකර ජය තහවුරු කරගැනීම සංකේතවත් කිරීමට දරන උත්සාහයක් පෙන්නුම් කරයි.

කන්දරෝඩෙයි - කදුරුගොඩ වීම

මේ දෙමළ බෞද්ධයන් ගැන ලියූ මහැදුරු සුනිල් ආරියරත්නයන් වැන්නන් හෝ මැදිහත්ව වහාම වැළැක්විය යුතු තවත් ඛේදවාචකයකි. පුරාණ දමිළ ගම්මානවලට අයත්ව තිබෙන නටබුන් බෞද්ධ වෙහෙර විහාර හේතු කොටගෙන එකී ගම්මානවලට සිංහල නම් යොදා සිංහල බෞද්ධයන්ට අමුතු ප‍්‍රීතියක් කවා, ව්‍යාජ අභිමානයක් උලූප්පා, ‘දෙමළ නිජබිම්’, ‘සිංහල අපේ පැරණි ගම්මාන’ බවට ඒත්තු ගැන්වීම එම ඛේදවාචකයයි.
‘ඓතිහාසික කදුරුගොඩ’ යනුවෙන් ඊයේ පෙරේදා නම වෙනස් කරනු ලබන ‘කන්දරොඩෙයි’ දෙමළ ගම ඊට කදිම නිදසුනකි.
කන්දරොඩෙයි රහතන් වහන්සේලාගේයැ’යි කියන භෂ්මාවශේෂ තැන්පත් කර තිබෙන පැරණි සොහොන් සමූහයක් ඇත. ‘ඓතිහාසික කදුරුගොඩ විහාරය’ යනුවෙන් අලූත් නාමපුවරුවක් එහි දැන් සවිකර ඇත. පැරණි ‘නම් පොතේ’ කියැවෙන ‘කදුරුගොඩ විහාරය’ නම්, මේ විහාරයයැ’යි එහි සඳහන්ය.
එහි වැඩිදුරටත් සඳහන්වන්නේ මෙම ඓතිහාසික විහාරය සංකිලි නම් දෙමළ රජු විසින් විනාශ කර දමා ඇති බවකි.
හා හා පුරා කියා දකුණින් යාපනේ වන්දනාවේ යන සිංහල බෞද්ධයන් නාගදීපයත්, කඳුරුගොඩ ආදී වෙහෙර විහාරත් වැඳ, ඒවා විනාශ කර දමා ඇතැ’යි කියන දෙමළුන්ට බැණ බැණ ආපසු ගම් බිම් බලා පිටතව යති.
ඒ අතරතුර අලූතින් ඉදිකෙරෙමින් තිබෙන පන්සල්ද තැන තැන දක්නට ලැබෙන අතර, ‘මේ සිංහල බෞද්ධ රාජ්‍යයයි. සිංහල දේශය බුදුන්ගේද දේශයයි. ‘‘සිංහලේ  - ශ‍්‍රී ලංකා භාරත - ඉන්දියාව’’ වැනි සිංහල, ඉංග‍්‍රීසි පාඨ සහිත පුවරුද ඒවායෙහි සවිකර ඇත.

කිට්ටුගේ උයනට සීගිරියක්

නල්ලූර් සිට පේදුරු පාරේ කිලෝමීටර් දෙකක් පමණ ගිය තැන හමුවන කිට්ටුගේ උයන මැද නටබුන්ව ගිය ඉදිකිරීමකි. එහි එක්පසෙක සංකිලි රජුගේ ප‍්‍රතිමාවකි. අප එහි යන විට එම ස්ථාන භාරව සිටින ආරක්ෂක නිලධාරි - හමුදා සෙබළා සිංහල සංචාරකයන් පිරිසකට කිට්ටුගේ උයනෙහි ඉදිකරන්නට නියමිත ‘සීගිරි අනුරුවක්’ පිළිබඳව විස්තර කරමින් සිටියේය. එහි මූලික මැනුම් කටයුතු නිමවී ඇති බවත්, ළඟදීම ඉදිකිරීම් අරඹන බවත්, එවැනි ඉදිකිරීම් 15ක් පමණ යාපනේ තැන තැන ඉදිකිරීමට කටයුතු යොදා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
ප‍්‍රභාකරන්ගේ නිවස සමතලා කෙරේ
මුලින් මුලින් දකුණින් උතුරට ගිය සංචාරකයින් ප‍්‍රභාකරන් සමග ඇති  වෛරය විසඳා ගත්තේ එම නිවසට පහරදෙමින්, එහි අසභ්‍ය වචන ලියමිනි. එමෙන්ම එය යුද්ධය අවසන් වූ අලූත උතුරට ගිය සංචාරකයන්ගේ අවධානයට ලක්වූ වැදගත් ප‍්‍රදර්ශනීය අංගයක් විය. සංචාරකයන් එයට හානි කරන බැවිනුත්, ඔවුන් එසේ කරන විට අසල්වාසී දෙමළ ජනතාව (ප‍්‍රභාකරන්ගේ ඥාතීන් හා අසල්වැසියන්* සමග ආරාවුල් ඇතිවිය හැකි බැවිනුත් පසුව එය සංචාරයට තහනම් කලාපයක් බවට පත් කරන ලදි.
ප‍්‍රභාකරන්ට අයත්ව තිබූ එම වැල්වැටිතුරේ නිවසද පසුගියදා හමුදාව විසින් ඩෝසර් කර දමා ඇති බව සටහන ලියන අතරතුරදී ආරංචි විය.

නල්ලූර්හි රන් දෙවොල පරයන හෝටලයක්

නල්ලූර්හි ඉදිකිරීමට නියමිතව තිබෙන තරු හතරේ සංචාරක හෝටලය නල්ලූර්වලින් පිටත  ඉදිකරන්නැ’යි ප‍්‍රදේශවාසීන් පමණක් නොව, යාපනේ සමස්ත හින්දු භක්තිකයන්ම ඉල්ලා සිටී. ඔවුන් පවසන්නේ ඓතිහාසික කන්දසාමි කෝවිල පිහිටි නල්ලූර් නගරය ‘හින්දු බැතිමතුන්ගේ ශුද්ධ වූ නගරය’ වන බැවින් එහි සංචාරක හෝටලයක් ඉදිකිරීම අනුමත කළ නොහැකි බවකි. ඔවුන් කියා සිටින්නේ මුහුදුබඩ වෙරළක් වැනි තැනක ඉදිකළ යුතුව තිබෙන හෝටලයක් පූජනීය නගරයක් මැද ඉදිකිරීමට සැලසුම් කිරීමම අයුක්තිසහගත බවය.
අනාරක්ෂිත සංගිලි රාජ උරුමය
යාපනේ දෙමළ රාජාවලියේ අවසන් රජු වන සංකිලි රජුගේ මන්ත‍්‍රී මාලිගය, මාලිගා පිවිසුම් දොරටුව, යමුනා ඒරි පොකුණ වැනි ඓතිහාසික ස්ථාන තවමත් පුරාවිද්‍යාත්මක සංරක්ෂිත ස්ථාන බවට පත්කර නැත. අප සංකිලි රජුගේ මන්ත‍්‍රී මාලිගාවට යන විටත්, එහි මධ්‍ය පීඨිකාවේ බිම එලා තිබූ තල් පැදුරක නිදන සිඟිත්තියක් දැකගත හැකි විය. ඒ මාලිගයට යාබදව පිහිටා ඇති ඇගේ නිවසේ ටකරම් වහල යට නොමැති සිසිලසක් විඳගනිමිනි. ඒ සිඟිත්තියත්, ඇගේ පියාත් හැරෙන්නට මාලිගාවේ ආරක්ෂාවට බල්ලෙක් කපුටෙක්වත් එහි සිටියේ නැත.
මේ පිළිබඳව අප පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසූ විට එහි උසස් නිලධාරියෙක් අප සමග පැවසුවේ යාපනේ කොටුව, කදුරුගොඩ පුදබිම, ඩෙල්ෆ්ට් දූපතේ කොටුව හැර යාපනේ අන් කිසිම ස්ථානයක් පුරාවිද්‍යාත්මක සංරක්ෂිත ස්ථාන ලෙස නම් කර නොමැති බවයි.
එල්ටීටීඊ ස්මාරක, සොහොන් කොත් ආදී යාපනේ මෑත ඉතිහාසයේ ඉදිකිරීම් කඩා ඉවත් කිරීම් වැළැක්වීමට ‘කිසියම්’ පියවරක් ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකිදැ’යි අප කළ විමසීමකදී එහි ඉහළ නිලධාරියෙක් පැවසුවේ අවුරුදු 100ට කලින් කළ ඉදිකිරීම්වල ආරක්ෂාව පිළිබඳව දෙපාර්තමේන්තුවට වගකීමක් ඇතත්, මෑතකාලීන ඉදිකිරීම් ආරක්ෂා කිරීම පිළිබඳ වගකීමක් නොමැති බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පනත අනුව එවැනි මෑතකාලීන ඓතිහාසික ස්ථානවලට වන හානි වැළැක්වීම පිණිස පූර්ණ බලතල ඇමතිවරයා සතුව ඇති බවත්, ඇමතිවරයාගේ නියෝගයකින් ඒවා වැළැක්විය හැකි බවත්ය.

යාපනේ පුරාවිද්‍යා ගවේෂණ

මේ අතර යාපනේ පුරාවිද්‍යා ගවේෂණ කටයුතු සඳහා ජනවාරි මස සිට එහි නව කාර්යාලයක්ද විවෘත කර ඇත. එමගින් පුරාවිද්‍යා ගවේෂණ නිලධාරීන්, ගවේෂණ සහකාරවරුන් යන නිලධාරීන් 4 දෙනකු ගවේෂණ කටයුතු සඳහා යොදවා සිටින අතර එම නිලධාරීන් 4 දෙනාගෙන් එක් අයෙක් බෞද්ධ භික්ෂූන් වන අතර අනෙක් තිදෙනාම සිංහල බෞද්ධ නිලධාරීන්ය. යාපන විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා විෂය සම්බන්ධ මහාචාර්යවරයෙක් පවා සිටියදී ඔහු පවා එම ගවේෂණ කටයුතුවලට සහභාගි කරවාගෙන නොමැත.
ඒ අනුව යාපනයේ දෙමළ රාජ සහ ජන ඉතිහාසය ගවේෂණ කෙරෙන්නේද දෙමළ ජන - විද්‍යාර්ථි සහභාගිත්වයෙන් තොරව වීම විවේචන කටයුතුය.
කෙසේ වෙතත්, උතුරේ යාපනේ දෙමළ නිජබිමේ ඈත මෙන්ම  මෑත ඉතිහාසයද විකෘති කිරීමේ ප‍්‍රචණ්ඩ බලවේගයන් ක‍්‍රියාත්මකවෙමින් තිබෙන බව පෙනේ. ඒ සඳහා රාජ්‍ය බලය, හමුදා ශ‍්‍රමය යෙදවේ. ඊට සිංහල - බෞද්ධයන්ගේ අනුග‍්‍රහය, ආශිර්වාදය ලැබේ.
                                     
                        ---- සුරේඛා සමරසේනගේ චාරිකා සටහන (රාවය)---

You can leave a response, or trackback from your own site.

0 Response to "යාපනය - ඇද වැටෙන ගොඩ නැගෙන වීර ස්මාරක"

Powered by Blogger